කලහකල 52ක් අත්අඩංගුවට - update | දිනමිණ

කලහකල 52ක් අත්අඩංගුවට - update

හම්බන්තොට ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එලෙස හැසිරුණ අනෙක් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මකයි.

හම්බන්තොට විරෝධතාවය - 21ට තුවාල - update

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති විරෝධතාවය අතරතුර පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් මනතුංග සඳහන් කළේ එම පුද්ගලයින් අතර ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් ද වන බවයි.

තුවාලකරුවන්ගෙන් බහුතරයක් ගල් ප්‍රහාර වැදීමෙන් තුවාල සිදුව ඇත.

විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ද තුවාල ලැබූ බව සඳහන්.

හම්බන්තොට විරෝධතාවට කඳුළු ගෑස් - update

හම්බන්තොට ඉදිකෙරන කර්මාන්තපුරයට විරෝධය දැක්විමට පැමිණි පිරිස් විසුරුවා හැරිම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

අධිකරණය විසින් වාරණයක් පනවා තිබුණ ද හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට එරෙහිව සැලසුම් කළ උද්ඝෝෂණ සැලසුම් කළ පරිදිම අද දිනයේ සිදුකරමින් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පැවසීය.

අදාළ අධිකරණ නියෝගයේ දැක්වෙන්නේ හම්බන්තොට වරාය පරිශ්‍රය, ගුවන් පාළම ආශ්‍රිත ප්‍රදේශය, පරිපාලන ස්ථාන සහිත ප්‍රදේශ සහ මහාමාර්ගවල ඊයේ සිට දින 14ක් යන තෙක් උද්ඝෝෂණ කිරීම තහනම් කරන බවයි.

පොලීසිය කළ ඉල්ලීමක් අනුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය පනවනු ලැබීය.

 එලෙස උද්ඝෝෂණ සිදුකිරීම තහනම් වන පුද්ගලයින් 26 දෙනෙකුගේ නම් ද මෙම නියෝගයේ විශේෂයෙන් ඇතුළත්ය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ඒ අතර වෙයි.

හම්බන්තොට කර්මාන්ත පුරය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයේ මුල් ගල් තැබිණ.

නව අදහස දක්වන්න