උසස් පෙළ හොඳම ප්‍රතිඵල මෙන්න | දිනමිණ

උසස් පෙළ හොඳම ප්‍රතිඵල මෙන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විවිධ විෂය ධාරාවන්ට අදාළව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබා ඇති සිසු සිසුවියන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ මාතර රාහුල විද්‍යාලයේ ආර්.ජී.නිසල් පුන්සර වන අතර දෙවන සාථානය කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්. රොෂේන් අක්තාර් හටත්, තෙවන ස්ථානය කල්මුණේ කාර්මෙල් ෆාතිමා විද්‍යාලයේ ජී. ක්ලෙරින් දිලූජාන් හටත් හිමිව තිබේ.

භෞතීය විද්‍යා විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි විසින් ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී.චතුර ජයසංඛ හා තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී.සවිඳු දිමාල් තානුක විසින් හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

වාණිජ්‍ය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ වන අතර දෙවන ස්ථානය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඔනිල් වින්දුල පෙරේරා විසින්ද තෙවන ස්ථානය පොලොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රුපසිංහ විසින් ලබාගෙන තිබේ.

කලා විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉන්දීවරී ගවරම්මන විසින් වන අතර දෙවන ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෙෂාන් හා තෙවන ස්ථානය කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ යූ.ඩබ්ලිව්. අමන්දා පාරමී විසින් හිමිකරගෙන තිබේ.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය යාපනය ස්කදන්දවාරෝදය විද්‍යාලයේ කනකසුන්දරම් ජතුර්සජාන් විසින් ද දෙවන ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයේ නිසල් කොබ්බෑකඩුව ද තෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සන්දීප අන්ජලී රණතුංග විසින්ද  හිමිකරගෙන ඇති බව සඳහන්ය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ මලිති ශශිකලා දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මයුමි තත්සරණී විසින්ද තෙවන ස්ථානය ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයේ ඉල්යාස් ෆාතිමා අරෝස විසින් ද හිමිකරගෙන තිබේ.

පොදු විෂය ධාරාවන් ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ තිලාර ඒකනායක වන අතර දෙවන හා තෙවන ස්ථාන පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි තුන්මෝදර, පැල්පොල ප්‍රදේශයේ පදිංචි ධනංජය විමුක්ති කරුණාරත්න විසින් සහ ගාල්ල, උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි ලහිරු සසංක විසින් හිමිකරගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk වෙත පිවිසීමෙන් එකී ප්‍රතිඵල දැන් ලබාගත හැකි බවයි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල් වල අද දින පෙරවරු 10.00න් පසුව විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් පාසල් වල ප්‍රතිඵල තැපැල් මගින් යොමු කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේප්‍රතිඵලද  ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ජනවාරි 23 වන දිනට පෙර ඒ සඳහා අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය වර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් දෙලක්ෂ හැටතුන්දහස්  550 දෙනෙකු විභාගයට පෙනී සිටියේය.

2016 උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 2 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වුණි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා දක්වා ඇති ස්ථානයේ නිවැරදි විභාග අංකයම ඇතුළත් කරන ලෙසයි.

විභාග අංකය වැරදි ලෙස සඳහන් කළහොත් නිවැරදි ප්‍රතිඵල ලබාගත නොහැකි බව අවධාරණය කර තිබේ.

මීට අමතරව ඩයලොග් සිම් පතක් භාවිතා කරනු ලබන ජංගම දුරකථන මගින් Exam යනුවෙන් ටයිප් කොට (Space)තබා තම විභාග අංකය ටයිප් කොට 7777ට යොමු කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මේ පිළිබද වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකිය.

නව අදහස දක්වන්න