සරසවි සිසුන්ට ඇප - වෙදුන් වර්ජනයකට සැරසෙයි | දිනමිණ


 

සරසවි සිසුන්ට ඇප - වෙදුන් වර්ජනයකට සැරසෙයි

අසංක බණ්ඩාර

වෛද්‍ය පීඨ සිසුන් සිදුකල විරෝධතාවයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය නියෝගයකට අනුවයි.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මත සිසුන් නිදහස් කර ඇති අතර ලබන 15 වනදා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇත.

මේ අතර වෛද්‍ය සිසුන්ට කරන ලද පහරදීමට සහ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීම සඳහා හෙට උදෑසන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

SAITM ආයතනය නීතිගතකිරීමට විරුද්ධව වෛද්‍ය ශිෂ්‍යයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට පහරදීම සහ සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව හදිසි රැස්වීමක් අද රාත්‍රී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි.

ඉන් අනතුරුව නිකුත්කළ මාධ්‍ය නිවේදනයට අනුව හෙට ( 03) උදෑසන 08.00 සිට මධ්‍යහ්න 12 දක්වා පැය හතරක සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත්, අත්අඩංගුවේ පසුවන සියලුම වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිදහස් කරන ලෙස බල කිරීමටත්, එසේ නිදහස් නොකරන්නේනම් මෙයට වඩා දැඩි වෘත්තීයසමිති ක්‍රියාමාර්ග වලට එළඹීමටත් තීරණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අතර ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවසීය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා සදහන්කරයි.

‘පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි. අපිත් එක්ක එදා 80 දශකයේ දී වේදිකාවේ කථා කරපු මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා තිබෙන්නේත් මේකට සහයෝගය දෙමු කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මතයත් ඒකයි. ඔය වෛද්‍ය සංගමය ඇතුළු කට්ටිය ඇයි 2011 ඉඳන් මේකට විරුද්ධ වුණේ නැත්තේ. මේකද පළවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. කොතලාවල එකක් හැදුවා මුලින්ම. ඒ ළමයිට රජයේ රෝහල් දුන්නා. වෛද්‍ය විද්‍යාව පෞද්ගලිකව හැදෑරුවොත් නිදහස් අධ්‍යාපනය නැතිවෙනවානම් විරුද්ධ වෙන්න තිබුණේ එදා. මේක යටතේ තිබෙන්නේ දේශපාලන අරමුණක්. නිදහස් අධ්‍යාපනයේ තිබෙන පළවැනි පරමාර්ථය තමයි අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස.‘ යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

නව අදහස දක්වන්න