සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලිසියත් බලයක් | දිනමිණ

සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලිසියත් බලයක්

සුරාබදු ආඥා පනත යටතේ වැටලීම් සිදු කිරීමට නඩු පැමිණිලි කිරීමට පොලිසියට නීතිමය අයිතියක් ඇතැයි පිටු 54කින් යුත් ‍ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පැවසීයයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගාල්ලේදි (27) පැවසීය.
 
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කීය. සුරාබදු අඥා පනත යටතේ වැටලීම් සිදු කිරීමට හා නඩු පැවරීමට හැකියාවක් නොමැති බව පවසමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් පිළිබදව අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා මේ බව කීවේය. 
 
අජිත් රෝහණ මහතා මෙසේද කීය. අද දින ලැබුණ මෙම ඓතිහාසික නඩු තීන්දුව නිසා ශ්‍රි ලංකා පොලිසිය අවුරුදු 105ක කාලයක් තිස්සේ මේ රටෙ සුරාබදු ආඥා පනත යටතේ පොලිසිය කළ වැටලීම් නඩු පැවරීම් ඒ ආකාරයටම දිගටම සිදු කිරීමට හැකියාව ලැබුණා. 
 
විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය පුරාවට පොලිසියට සුරාබදු අඥා පනත යටතේ උසාවියේ නඩු පැවරීමට හැකියාවක් නැති බවට විවිධ කතිකාවන් නිර්මාණය වී තිබුණා. කෙසේ වෙතත් අද දිනයේදි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පිටු 54කින් යුත් ඓතිහාසික මේ නඩු තීන්දුව රටේ අපරාධ යුක්ති ක්‍රමයේ ප්‍රගමනය සදහා ලබා දුන් සුවිශේෂ තීන්දුවක් ලෙස අපි දකිනවා. 
 
එයට හේතුව විශේෂයෙන්ම පසුගිය මාස හයක හතක කාලය තුල ඇති වූ යම් යම් තර්ක විතර්ක නිසා මේ රටේ කසිප්පු ජාවාරම් කරුවන් ඒවායින් යැපෙන පුද්ගලයින් විශාල සතුටකින් සිටියා. පොලිසියට සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට හැකියාවක් නොමැති බව පවසමින් ඔවුන් සමහර ප්‍ර දේශ වල ජාවාරම් වල නිරත වුණා. අද දිනය ප්‍රකාශයට පත් කළ මේ ඓතිහාසික නඩු තීන්දුව මගින් සදහන් කරලා තිබෙනවා පොලිසිය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වැටලීම් සිදු කිරීම නඩු පැමිණිලි කිරීම නීතියට අනුකූළ බවයි. 
 
මේක පොලිසිය ලබපු ජයග්‍රහණයක් පමණක් නොවේ. මේ රටේ අපරාධ යුක්ති ක්‍රමය ලද ජයග්‍රහණයක්. මෙවැනි නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් නොවූ වා නම් සමහරවිට මේ නීති සංශෝදනය කිරීමට සිදු වෙනවා. ඊට දීර්ඝ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ අනුව මේ රටේ අපරාධ කරුවන් නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් මෙරටට නීති විරෝධි ආකාරයට මත් පැන් ගෙන්වන පුද්ගලයන්ට ඉන් වාසි ලබා ගැනීමට හැකියාව තිබුණා. 
 
අපි විශේෂයෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ තර්කය වන්නේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් 2011 අවුරුද්දේදි අභියාචනාදිකරනය මගින් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ නඩු වේත් පොලිසියට බලතල තිබෙන බව සදහන් වෙලා තිබෙනවා. ඒ වාගේම ඒ නඩුව නැවත වරක් 2014 වර්ෂයේදි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අනුමත කරලා තියනවා. විත්ති පාර්ශවයේ තර්කය වුණේ 2011 ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය කරන නඩුවකින් ඒ බලතල අහිමි කරන ලද බවයි. 
 
නමුත් මහේස්ත්‍රාත්තුමා නඩු තීන්දුවේ පැහැදිලිව සදහන් කරලා තිබෙනවා 2011දී තීරණය කරන ලද නඩුව බලපත්‍ර කොන්දේසි උල්ලඝනය කිරීමට අදාල නඩුවක් නිසා එය සමස්ථ වැරදි සදහා යොදාගත නොහැකි බවයි. ඒ අනුව අද දිනය ලංකා අපරාධ යුක්ති ක්‍රමයේ සුවිශෙෂි දිනයක් හැටියට හදුන්වන්න පුළුවන්. අපි අඛණ්ඩවම සුරාබදු අඥාපනත යටතේ වැටලීම් සිදු කරනවා. වැටලීම් සිදු කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ නීතිය හා සාමය අපේක්ෂා කරමින් සමාජ විරෝධික්‍රියා වැළැක්වීමයි. ගම් වල මත් පැන් ජවාරාම් කරුවන් බීමත් පුද්ගලයන් මගින් සිදු වන සමාජ විරෝධි වැඩ පමණක් නොව ඒ තුළින් විවිධ පහර දීම් කොල්ල කෑම්, කලහකාරි බොහෝ දේ සිදු වෙනවා. ඒ සියල්ල සදහා මේ ඓතිහාසික නඩු තීන්දුවෙන් ප්‍රතිකර්ම ලැබුණු බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.    
 
(දික්වැල්ලේ තිලකරත්න -ගාල්ල උතුර සමූහ) 
 

නව අදහස දක්වන්න