දිස්ත්‍රික්ක විසිපහටම රණවිරු ගම්මාන 25ක් | දිනමිණ

දිස්ත්‍රික්ක විසිපහටම රණවිරු ගම්මාන 25ක්

උපාලි කරුණාරත්න

නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස

 රණවිරුවන්ට ගරු බුහුමන් වේදිකාවලට සීමා කරන්නේ නෑ

 ගම්මානවලට මුදල් අය කිරීමේ ප්‍රතිපත්තිය ඉරා දමනවා

වත්මනෙහි නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කැප කිරීම් කළ රණ විරුවන් වෙනුවෙන් රටේ දිස්ත්‍රික්ක 25 තුළ රණ විරු සුභ සාධන ගම්මාන විසිපහක් ආරම්භ කිරීමට තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (09) බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයේ පිහිටි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

රණවිරුවන්ට ගෞරව දැක්වීම දේශපාලන වේදිකාවලට සීමා නොකර, ලකුණු දමා ගැනීමේ වාක්‍ය වලට පමණක් සීමා නොකර සිදු කළ යුතු බවත් රණ විරුවන් ඇස්, මස්, ලේ, ජීවිත දන්දෙමින් තම පවුල් වල අවශ්‍යතා පසෙක දමමින් දැඩි කැපවීමෙන් කටයුතු කළ නිසා වර්තමානයේ නිදහස් ශ්‍රී ලංකාවක් නිර්මාණය වූ බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය. රණ විරුවන් ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට කළ සේවය කෙළෙහි ගුණ දත් රජයක් ලෙස සිහියේ තබා ගනිමින් වත්මන් රජය කටයුතු කරන්නේ යයිද පැවසූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා, රජය රණවිරු සුභ සාධනය වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කරන්නේ යැයි ද කීය.

රණ විරු ගම්මානයන්හි පැවැති ගැටලු නිරාකරණය කර ගනිමින් අඩුපාඩු කම් රහිතව අංග සම්පූර්ණව නව රණවිරු සුභ සාධන ගම්මාන කෙටි කාලයකින් ඉදිකරන බවද පැවසූ ඇමැතිවරයා මෙම රණ විරු ගම්මානයන්හි පදිංචි වන රණ විරුවන්ට පෙර මෙන් එම ඉඩම් සහ නිවාස සඳහා මුදල් අය නොකරන බවද පැවසීය.

රණ විරුවන්ගෙන් ඔවුන් සඳහා ඉදිකරන ගම්මාන සඳහා මුදල් අය කිරීමේ ප්‍රතිපත්තිය කීතු කීතු වලට ඉරා දමන බවද කී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත රණ විරු සුභ සාධන ගම්මාන වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවන බවද ප්‍රකාශ කළේය. තිස්සමහාරාම ප්‍රදේශයේ ඉඩම් නොමැති පොලිස් නිලධාරීන් සඳහා ගම්මානයක් ඉදිවන බවද මෙහිදී ඇමැතිවරයා කීය. රණ විරු සුභ සාධන ගම්මාන සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම කඩිනමින් ආරම්භ කරන බවද මෙම හමුවේදී අනාවරණය විය.

ඉදිරියේදී සිදුවන කැබිනට් මණ්ඩල වෙනස පිළිබඳ මෙම හමුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ පිළිබඳ තීරණය කරනු ඇති බවය.

නව අදහස දක්වන්න