පොරොන්දු වූ අයුරින් කැපවෙනවා - ඇමරිකාව | දිනමිණ

පොරොන්දු වූ අයුරින් කැපවෙනවා - ඇමරිකාව

අසංක බණ්ඩාර

ශ්‍රී ලාංකිකයින්ට අයත් , ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වය සමග ඇති කෙරෙන විශ්වාසදායි සහ සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් තැබීම තම යෝජනාව මගින් සිදුකරන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද යෝජනාව ඉතා වැදගත් බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප සහ අපගේ පාර්ශවකරුවන් එක්වී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සභාගත කරන ලද බවත්, එය සත්‍යයේ, යුක්තියේ, වරද නිවරදි කිරීමේ, සංහිඳියාව වර්ධනය කිරීමේත් සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්ථීර සාමය සහ සෞභාග්‍ය සහතික කිරීමේ අතිශය වැදගත්කම සනිටුහන් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස ලකුණු වන බවත් එහි දැක්වෙයි.

එය වෙත සම අනුග්‍රාහකයෙක් ලෙස ශ්‍රී ලංකා රජය එක්වීමට ගත් තීරණය අගය කර ඇති අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, අප සියල්ලන්ට එක්වී කටයුතු කර, යෝජනාවේ සඳහන් කැපකිරීම් සිදුකිරීමට මංපාදන බව පෙන්වාදෙයි.

සාමය වෙත ළඟාවීමට අප ශ්‍රී ලංකාවේ ශක්තිය අඩපණ කරමින්, බෙදුණු ප්‍රවේශයකට රට ගෙනයාමේ මාවතකින් අයින්වීමට ගතවූ වසරේ දෙවතාවක්ම ශ්‍රී ලංකා ජනතාව විසින් සිය ඡන්දය භාවිතා කරන ලද බව එහි දැක්වෙයි.

මෙම යෝජනාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේ නිර්භීත පියවරට සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට සිවිල් නිදහස් ප්‍රතිසංස්ථානය කිරීමට ශ්‍රී ලංකාවට අපගේ සහයෝගය ප්‍රකාශ වන අතර අතීතයේ වේදනාකාරී අත්දැකීම් නැවත සිදුනොවන බවට සහතිකයක් දෙමින් ඒවා කෙරෙහි යොමුවීමක්ද වනු ඇති බව සඳහන්ය.

ශ්‍රී ලාංකිකයින්ට අයත් , ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වය සමග ඇති කෙරෙන විශ්වාසදායි සහ සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් මෙම  යෝජනාව මගින් තබනු ඇති බවත්,  එමගින්  පවුල්වල අතුරුදහන්වී ඇති ආදරණීයයන් ගැන පිළිතුරුද සැපයෙනු ඇති බවත් එකී නිවේදනයෙන් කියා සිටියි.

එය ශ්‍රී ලාංකිකයින්ට සත්‍යයේ යුක්තියේ , වරද නිවරදි කිරීමේ, සංහිඳියාව වර්ධනය කිරීමේ මාවත දිගේ පියනැගීමටත්, කීර්තිමත් හා වාත්තීය අයුරින් කටයුතු කරන ලද හමුදාවන් හා අනෙකුත් අයගේ කීර්ති නාමය සුරැකීමටත් ඉවහල් වන බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුව ස්වකීය නිවේදනයෙන් උපුටා දක්වයි.

ශ්‍රී ලංකාව මෙම වැදගත් මෙන්ම අභියෝගාත්මක පියවර තැබීමේදී තමා විසින් කොළඹදී පොරොන්දු වූ අයුරින් අමෙරිකා එක්සත් ජනපදය අචල කැපවීමකින් යුතුව කටයුතු කරනු ඇති බව එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

දකුණු ආසියා කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් නිශා බිස්වාල්ගේ ට්විටර් අඩවියේ ජෝන් කෙරීගේ නිවේදනය දක්වා තිබුණි.

නව අදහස දක්වන්න