කඳුකරයට මීදුම -වැසි සමග නාය යෑම් | දිනමිණ

කඳුකරයට මීදුම -වැසි සමග නාය යෑම්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙම දිනවල ඇද හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ හේතුවෙන් ඊයේ පස්වරුවේ එහි ස්වයංක්‍රීය වාන් දොරටුවක් විවෘතවී ඇති බවයි අප වාර්තාකරු පවසුවේ.

ජලාශයට පහළින් කොත්මලෙ ඔය පරිහරණය කරන පිරිස් අවධානයෙන් පසුවිය යුතු බව ජලාශය බාර ඉංජිනේරුවරු පවසති.

අධික වර්ෂා තත්ත්වයත් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ අධික මීදුම් සහිත තත්ත්වයක් ඇතිවී තිබෙන අතර හැටන් කොළඹ හා හැටන් නුවරඑළිය මාර්ග වල වාහන පදවන රියදුරන් මේ පිළිබවදව අවධානයෙන් පසුවන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.

මේ අතර දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් සහ ආපදා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර පැවසුවේ, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා එම නායයාම් අනතුරු ඇඟවීම නිකුත්කර ඇති බවයි.

එමෙන්ම අවධානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අද දිනයෙත් දහවල් 12 න් පසු දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසුවේ, ඇතැම් ස්ථානවලට 100mm ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය.

(අසේල කුරුළුවංශ)

 

 

නව අදහස දක්වන්න