ප්‍රදේශ රැසකට තද වැසි | දිනමිණ

ප්‍රදේශ රැසකට තද වැසි

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේදීත් ඉතා තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පැවසුවේ මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතැම් ස්ථානවලට බලාපොරොත්තු වන බවයි.

උතුරු, නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස ධීවර, නාවික ප්‍රජාවගෙන් ද කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

එමෙන්ම, අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ උපරිම වර්ෂාපතනයක් උතුරුමැද පළාතේ ඇතාවැටුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 156 ක්.

පසුගිය දින කිහිපය තුළ රජරට ප්‍රදේශයට අඛන්ඩව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් විශාල සංඛ්‍යාවක් මේ වනවිට වාන් දැමීමට පටන් ගෙන තිබේ.

අක්කර අඩි ලක්ෂයක ජල ධාරිතාවයකින් යුත් කලාවැව වාන් දැමීමත් සමඟම එහි හදිසි වාන්දොරටු දෙක අඩි 3 බැගින් මේ වනවිට විවෘත කර ඇති අතර කලා ඔය ඔස්සේ රාජාංගනය වැවට පැමිණීමත් සමඟ රාජාංගනය වැවේ ජල මට්ටම් පාලනය කිරීම සඳහා එහි වාන්දොරටු 30 න් 6 ක් මේ වනවිට විවෘත කර ඇත.

අනුරාධපුරයේ - නාච්චාදූව සහ නුවර වැව ද වාන්දැමීම ආරම්භ වීමත් සමඟ එම වැව්වල ද වාන්දොරටු විවෘත කර මල්වතු ඔයට ජලය මුදා හැරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම, තිසාවැව, බසවක්කුලම වැව, මහවිලච්චිය වැව, මහකනදරා වැව සහ ඒරු වැව ද මේ වනවිට වාන්දමමින් පවතින අතර පදවිය, වාහල්කඩ සහ හුරුළු යන වැව්වල ද ජල ධාරිතාවය වාන් මට්ටමට ළඟා වෙමින් පවතින බවයි එම වැව්භාර වාරිමාර්ග ඉංජිනේරුවන් වැඩිදුරටත් කියා සිටියේ.  

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම සියයට 80 මට්ටමට පැමිණ ඇති බව එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියා.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පුත්තලම, මන්නාරම සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් රැසක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 300 ක් පමණ පීඩාවට පත්ව ඇති බව ය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් එළුවන්කුලම මාර්ගයේ ගමනා ගමනය ද අවහිර වී ඇති බව ය.

රාජාංගනය, තබ්බෝව, දැඳුරුඔය සහ උඩවලව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නව අදහස දක්වන්න