බදු සහන පාරිභෝගිකයාට ලැබී නැහැ - මුදල් ඇමති | දිනමිණ

බදු සහන පාරිභෝගිකයාට ලැබී නැහැ - මුදල් ඇමති

ආනයනික සහල් සඳහා රජය විසින් දෙවතාවක් බදු පහත දැමීමට ක‍්‍රියා කළද මෙතෙක් එම සහනය නිසි ලෙස පාරිභෝගිකයාට ලැබී නැතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසීය. 

 
ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.නිවේදනයක් නිකුත් කරමින් වෙළඳ හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පසුගිය දා සදහන් කලේ නියඟය හේතුවෙන් ඉහළ ගිය, සහල් මිල හමුවේ දුෂ්කරතාවට පත් වන ජනතාවට සහන සැලසීමේ අරමුණින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පසුගිය (2017) ජනවාරි මස 06 වන දින මධ්‍යම රාත‍්‍රියේ සිට ආනයනික සහල් වෙනුවෙන් එතෙක් පනවා ඇති බදු අඩු කිරීමට රජය තීරණය කළ බවයි.
 
එමෙන්ම නැවත වතාවක් 2017 ජනවාරි 27 වන දින මධ්‍යම රාත‍්‍රියේ සිට රජය මඟින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 05 දක්වා අඩු කිරිමට පියවර ගත් බව ද නිවේදනය කළේ ය.මෙවන් පසුබිමක් තුළ ගන්නා ලද තීරණයන්ගේ ප‍්‍රතිඵල මහජනතාවට ලැබී නොතිබීම ඛේදනීය තත්ත්වයක් බවත්, තොග වශයෙන් හංගා ගෙන තිබෙන සහල් වෙළඳපොළට නිකුත් කරන ලෙස අතරමැදියන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍ය රවී කරුණානායක පවසා සිටියේ ය.
 
ඒ අනුව රතු කැකුළු, සුදු කැකුළු සහ සම්බා යන සහල් වර්ග සඳහා පමණක් බදු අඩු කර ඇති අතර බාස්මති සහල් වෙනුවෙන් මෙම සහනය හිමි නොවේ. 

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලෙවි කිරීම පිළිබඳව අසත්‍ය ප්‍රචාර පළවෙමින් තිබෙන බවත්, එවැනි  ගනුදෙනුවක් සිදුවූ වහාම රජය ජනතාවට ඒ පිළිබඳව දැනුම් දෙන බවද  සඳහන් කළේය.

දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගන්න කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර අය සමහර තැන්වල විවිධ කතා කියලා තියෙනවා. බස් එකක්වත් ගන්න බැරි අයත් එයාර් බස් ගැන කතා කරනවා" මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ගනුදෙනුව පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවත්, ගැටලුකාරී තත්ත්වයන් නිවැරදි කරමින් පවතින බවත් පවසා සිටියේය.

එසේම අද හෝ හෙට දිනයේදී එම වරාය ගනුදෙනුව සම්බන්ධයෙන්  රජය මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරන බවද අමාත්‍යවරයාගේ අදහසයි.


නව අදහස දක්වන්න