ෂියා මුස්ලිම් ජනයා නොසන්සුන් | දිනමිණ

ෂියා මුස්ලිම් ජනයා නොසන්සුන්

සුප්‍රකට ෂියා මුස්ලිම් ආගමික නායකයෙකු වන ෂෙයික් නිමර් අල් නිමියර්ට සෞදි අරාබිය විසින් මරණ දඩුවම ක්‍රියාත්මක වීමත් සමඟ අරාබිකරයේ ෂියා මුස්ලිම් ජන කොටස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවී තිබේ.

සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන සෞදි අරාබිය ෂියා ආගමික නායකයාට මරණ දඩුවම ක්‍රියාත්මක කළේ ත්‍රස්තවාදී චෝදනා යටතේයි. 

සෞදි අරාබියේ ඛනිජ තෙල් සම්පත්වලින් පොහොසත් නැගෙනහිර ප්‍රදේශයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මෙහෙයවීම සම්බන්ධයෙන්ද ෂෙයික් අල් නිමියර් ට චෝදනා එල්ලවී තිබුණි.

අරාබි වසන්තයේ විරෝධතා සමඟ 2011 වසරේ නැගෙනහිර සෞදි අරාබියේ මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.

2012 වසරේදී ඔහුගේ මෝටර් රථය ලූහුබැදගොස්  අත්අඩංගුවට ගැනීමේදී පාදයට වෙඩි පහර කිහිපයක්ද එල්ලවී තිබේ.

ෂියා ආගමික නායකයාට මරණ දඩුවම පැනවීම සම්බන්ධයෙන් ෂියා බහුතරයක් වෙසෙන ඉරානය දැඩි විරෝධය පළ කළේ ටෙහෙරාන් නුවර සෞදි තානාපතිවරයා කැඳවමින්.

ෂියා ආගමික නායකයා සමඟ තවත් පුද්ගලයන් 47 දෙනෙකුට සෞදි අරාබිය ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඩුවම ක්‍රියාත්මක කළේය.

 

නව අදහස දක්වන්න