යුද ගිනි මැද අළු වන සිරියාවේ අනාගතය | දිනමිණ

යුද ගිනි මැද අළු වන සිරියාවේ අනාගතය

සිරියානු දරුවන් අතුළු මිලියන ගණනක් වූ සිවිල් වැසියන් වසර ගණනාවක් තිස්සේ ඔඩු දුවමින් තිබෙන සිරියානු යුද්ධයේ ගොදුරු බවට පත් වෙමින් සිටිති.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ (Unicef) නවතම වාර්තාවන්ට අනුව යුද්ධය හේතුවෙන් අනෙක් වසරවලට සාපේක්ෂව 2016 වසරේදී සිරියානු දරුවන් රැසකට ජීවිත අහිමි වී තිබේ.

එම සංවිධානයේ වාර්තාවන්ට අනුව පසුගිය වසර තුළ අවම වශයෙන් සිරියානු දරුවන් 652 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 20%ක වර්ධනයකි.

මේ අතර යුද ගැටුම්වලට මැදිව තුවාල ලැබූ හෝ අබාධිත තත්ත්වයට පත් වූ දරුවන් සංඛ්‍යාව ද අතිවිශාලය.

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ, සිරියානු දරුවන් 1000කට ආසන්න සංඛ්‍යාවක් බලහත්කාරයෙන් සටන්කාමීන් බවට පත් කර ගෙන සිටින බව ය.

වසර 6ක් තිස්සේ ක්‍රියාත්මක සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන 6 ක පමණ සිරියානු දරුවන් පිරිසක් මානුෂීය ආධාර අත්‍යවශ්‍ය තත්ත්වයට පත්ව සිටිති.

ඉන් දරුවන් මිලියන 2.3ක පමණ සංඛ්‍යාවක් උපන් බිම අතහැර සරණගාතයින් ලෙස පළා ගොස් සිටින අතර තවත් 2.8ක පිරිසක් අවදානම් සහගත තත්තවයක ද තවත් 280,000ක් පමණ වූ දරුවන් පිරිසක් බලකොටුවලට ද කොටු වී සිටිති.

මේ අතර, පසුගිය දා Save the Children සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පැවසුවේ, සිරියානු දරුවන්ට අනාගතයේදී විෂම වූ මානසික ආතතියක් සහිත රටක ජීවත් වීමට සිදුවනු ඇති බව ය.

ක්ෂණික අතහිත දීමකින් තොරව මෙම භයානක තත්ත්වය යළි හැරවීමට නොහැකි වනු ඇති බවට ද එම සංවිධානය අනතුරු අඟවා සිටී.

එම සංවිධානය පවසන්නේ, සෑම සිරියානු දරුවන් 3 දෙනෙකුගෙන් ම දෙදෙනෙකුට ම යුද්ධය නිසා ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වී ඇති බව ය.

නව අදහස දක්වන්න