දෙස් විදෙස් ලේඛ­ක­යන් දුටු බක්මහ උළෙල | දිනමිණ

දෙස් විදෙස් ලේඛ­ක­යන් දුටු බක්මහ උළෙල

බක් මාසය කියන්නෙ භාග්‍යවත් සමයටය කියා කියනවා. මේ බකමහේ පැවැත්වෙන මහා මංගල්‍යය තමා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල. සිව්හෙළයම ඒකාත්ම කරන ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය නිසා මීට ජාතික සංස්කෘතික උළෙල කියා නම් කිරීම වඩාත් උචිතය කියා සමාජ විදාඥයන් ඇතුළු විද්වතුන් යෝජනා කරනවා. එකම දවසේ සුබ නැකතකින් උත්සව චාරිත‍්‍ර අනුගමනය කරන මෙවන් ජාතික උළෙලක් ලොව අන් කවර දේශයකවත් දකින්නට ලැබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. ඒ වගේම වේගයෙන් වෙනස්වන සමාජ, සංස්කෘතික හා තාක්‍ෂණික පරිසරයක් තුළ එවන් නවීකරණ හමුවේ පරිණාමයට ලක් වන ජාතික උළෙලක් හැටියටත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අගය කරන්න අපට පුළුවන්.

සමස්ත ජාතියම එක අරමුණක් වටා ඒකරාශී කරන මේ අලුත් අවුරුදු උළෙලට දිගු ඉතිහාසයක් තිබෙන බව අතීත අවුරුදු සිරිත් විරිත් විමසා බලන විට අපට පෙනී යනවා. කාලය හා තාක්‍ෂණය වෙනස් වන විට ඊට අනුරූප විදිහට අලුත් අවුරුදු චාරිත්‍ර ද හැඩගැසුණු ආකාරය විස්තර කෙරෙන පොත්පත් රැසක්ම දෙස් විදෙස් ලේඛකයන් අතින් ලියවී තිබෙනවා. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර විසින් ‘ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගේ සංස්කෘතික උරුමය’ නමින් රචිත කෘතියකත් අලුත් අවුරුදු චාරිත්‍ර ගැන සඳහන් වෙනවා. එමඟින් ආචාර්ය ඔබේසේකර පෙන්වා දෙන්නේ රාවණ අධිරාජයා ජීවත් වූ ප්‍රාග් ඵෙතිහාසික යුගය දක්වාම අලුත් අවුරුදු සිරිත් විරිත්වල ඉතිහාසය දිවෙන බවයි. ‘රුචක නිගණ්ඩු’ නම් පුස්කොළ පොතක විභීෂණ රජ සමයේ දකුණු පළාතේ කතලුව නමැති ග්‍රාමයේ පැවති බක්මහ උළෙළක් පිළිබඳව විස්තර කෙරෙන බව ඉහත කී කෘතියේ ආචාර්ය ඔබේසේකර සඳහන් කර තිබෙනවා.

විදෙස් ලේඛකයන් ‘අලුත් අවුරුද්ද’ දුටු ආකාරය පෙන්වා දෙන ලිපි ලේඛන වශයෙන් අපට හඳුනා ගත හැක්කේ රොබට් නොක්ස් හා මේජර් ඩේවි විසින් ලියන ලද රචනායි. විශේෂයෙන්ම රොබට් නොක්ස් ලියූූ ‘එදා හෙළදිව’ නම් කෘතියේ එකල පැවති අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ සිත්ගන්නාසුලු තොරතුරු රැසක් හමුවෙනවා. ක්‍රි.ව.1641-1679 කාලය තුළ උඩරට රජතුමාගේ සිරකරුවකු ලෙස ජීවත් වූ නොක්ස් සිය කෘතියේ මෙසේ දක්වා තිබෙනවා.

“ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය සාමාන්‍යයෙන් මාර්තු 27 හෝ 28 හෝ 29 හෝ යන දිනකදී එළඹේ. මේ කාලයේදී (නැකත්කරුවන්ගේ උපදෙස් පරිදි තෝරාගත් විශේෂ ශුභ දිනයකදී) රජතුමා හිස සෝදයි. ඔවුන’තර මෙය ඉතා ගම්භීර සිද්ධියකි. රජවාසල තොරණවලින් අලංකාර කෙරේ. මෙය පියකරු දර්ශනයකි. මෙම තොරණවල මැද පිහිටි කණු සෙසු ඒවාට වැඩිය උසය. දෙපස වූ ඒවා අනුක්‍රමයෙන් එකිනෙකට මිටි වන අයුරින් එක පෙළට හතක් හෝ නවයක් පිහිටුවා ඇත. ඒවා මැදින් යාම ඊම සඳහා වූු දොරටුවක ස්වරූපය ගත් ආරුක්කුවකි. රිටි මුදුනේ කොඩි ළෙල දේ. මිනිසුන්ගේ හා සිව්පාවුන්ගේ ද, පක්‍ෂීන්ගේ හා පුෂ්පවල ද රූ සටහන් හා චිත්‍ර සිතුවම් කරන ලද රෙදි එහි හැමතැනම එල්ලා ඇත.”

මේජර් ඩේවිගේ කෘතියේ ද රජතුමා නානුමුර මංගල්‍යයට සාහභාගි වූ ආකාරය පිළිබඳව අපූරු විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. වෙනත් චාරිත්‍ර වාරිත්‍ර නම් අද ද දක්නට ලැබෙන අවුරුදු සිරිත්වලට බොහෝදුරට සමානය. කෙසේ වෙතත් ‘විදේශිකයන් දුටු සිංහල අවුරුද්ද’ නමින් ලිපියක් ලියූ මහාචාර්ය චන්‍ද්‍රසිරි පල්ලියගුරු පවසා ඇත්තේ නොක්ස් මෙන්ම ඩේවි ද මෙම උත්සවයේ උත්කර්ෂවත් බව වර්ණනා කිරීමට උත්සාහ කරනුයේ රජතුමා හා ප්‍රභූවරුන් ඇසුරෙන් පමණක් බව පෙනී යන බවයි. ඔවුන්ගේ වර්ණනාවල පොදු ජනයා ගැන එතරම් විස්තරයක් දක් නොලැබෙනුයේ එකල මෙම මංගල්‍යය රාජකීයන් හා රදලයන් සඳහා සීමා වූවක් නිසා විය හැකි බවද මහැ’දුරු පල්ලියගුරු පෙන්වා දෙනවා.

‘මධ්‍යකාලීන සිංහල කලා’ නම් මහඟු ග්‍රන්ථයේ ආනන්ද කුමාරස්වාමි නම් විද්වතා ඉදිරිපත් කරන තොරතුරු ද එවකට පැවති අවුරුදු චාරිත්‍ර පිළිබඳ වැඩිමනත් අවබෝධයක් අපට ලබා දෙනවා. ඔහු පවසන ආකාරයට නම් පොදු ජනතාව ඉතා කැමැත්තෙන් අවුරුදු උත්සවය සැමරූ ආකාරයක් දැකිය හැකියි. ” රජු ද රදලයන් ද සාමාන්‍ය ජනයාද මෙකල කෙලි සෙල්ලමෙන් කාලය ගත කරන අයුරු දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

1944 දී රචිත මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාවේද අලුත් අවුරුද්ද අළලා විචිත්‍රවත් සටහනක් ඇතුළත්ව තිබෙනු දැකිය හැකියි. ”සිංහල අවුරුද්ද නිමිත්තෙන් අවුරුද්දකට දෙතුන් දවසකට කලින් කුඹල්කාරයෙක් ගමේ ප්‍රධාන පවුල් තුන හතරකට අලුත් වළං කඳ බැගින් ගෙනත් දීම පෙර සිට පැවත එන සිරිතකි. වළං කත් ගෙනෙන කුඹල්කාරයෝ බතින් ද අනතුරුව රසකැවිලියෙන් ද සංග්‍රහ ලබති. වළං කත් වෙනුවට ඔවුන් ලබන්නේ සහල්, පොල්, ලූණු, මිරිස්, කැවුම් ,අතිරස යන ආදියයි. ඔවුහු ඉතා සන්තොෂයෙන් ඒ ද්‍රව්‍ය ගෙන ගොස් අඹු දරුවන් සමඟ අවුරුදු කති.”

කොග්ගල ප්‍රාඥයා ලෙසින් ප්‍රකට වික්‍රමසිංහයන් දකුණුකරයේ අවුරුදු සිරිත් එසේ සිතුවමට නඟද්දී කන්නිමහර ප්‍රාඥයා නමින් විරුදාවලිය ලැබ සිටින කේ. ජයතිලකයෝ ද සියනෑ කෝරලයේ අවුරුදු සිරිත් සිය ‘එක ගෙයි අවුරුද්ද’ කෙටි කතාවේ අපූරුවට රූපණය කරනවා.

“දොළොස් වැනිදාට එළි වූ තැන් සිට ගෙදර පිරි පැවැත්තේ බලාපොරොත්තුවෙනි. එක අතකින් අවුරුද්ද එන බලාපොරොත්තුව. අනික් අතින් පුංචි තාත්තා එන බලාපොරොත්තුව. පුංචි තාත්තා මෙවරත් තෑගි බෝග රැසක් රැගෙන එනු ඇතැයි මම ද බලාපොරොත්තු වෙමි. ඔහු ඒමට තව වෙලා ඇතත් වරින් වර අම්මා පාර දෙස බලන්නේ දැන් දැන් එතැයි සිතන්නාක් මෙනි.”

මෙසේ අලුත් අවුරුද්දේ හැඩරුව දුටු ලේඛකයන් අතර මහගමසේකර, මඩවල එස්. රත්නායක, විමලදාස සමරසිංහ වැනි ලේඛකයන් රැසකගේ නම් ද දැකගන්න පුළුවන්. සමාජ, ආර්ථික වටපිටාව කෙතරම් වෙනස් වුවද ඊට අනුරූපව බක්මහ මංගල්‍යය හැඩගස්වා ගන්න ලාංකික ජනයා සමත් වී ඇති සැටි මේ හැම ලේඛකයකුගේම ලිපි ලේඛන විසින් කදිමට පෙන්වා දෙනවා... ඉතින් පොල් අරඹෙයි- තල් අරඹෙයි වෙසෙන සියලු ලක්වාසීන්ට භාග්‍යවත් බක් මංගල්‍යයකට ආසිරි පතනවා.

කමල් පෙරේරා

නව අදහස දක්වන්න