ජේ.බී.සර් කැම්පස් යන්න කලින්ම නාට්‍ය­කා­ර­යෙක් වෙලා.. | දිනමිණ

ජේ.බී.සර් කැම්පස් යන්න කලින්ම නාට්‍ය­කා­ර­යෙක් වෙලා..

මහා­චා­ර්ය ජේ.බී. දිසා­නා­යක

ජේ.බී. සර්, ජේ.බී. දිසානායක සම්මානිත මහාචාර්යතුමා විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙනී ඉන්නෙ කොළඹ ආනන්ද විද්‍යාලෙ ඉගෙනගත්තා ශිෂ්‍යයෙක් විදියට. ශිෂ්‍යයෙක් විදියට 1956 නොවැම්බර් මාසෙ තුන්වනදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පළමු වරට රඟ දැක්වුණු මහාචාර්ය සරච්චන්ද්‍රගෙ මනමෙ නාට්‍යය නරඹනවා. මනමෙ රැඟුම ඔහුගෙ හිත වශී කරනවා. එතුමාම කියන විදියට නම්, විශේෂයෙන් මනමෙ බිසවගේ රූප කාය ඔහුගෙ හිතේ ඇඳිලා තිබුණලු. “පොතේ ගුරා කී ලෙසින්ම කුමරියගේ රූප කායත් බඳ නටවමින් කළ ගමන් ලාලිත්‍යයත් නිසා අපේ මන දොළ සපිරිණ. ඈ ඇඳ පැලඳ සිටි ඇඳුම් ද ඇගේ කෙස් කලඹේ අපූරුව ද අප විස්මයාවහ ලෝකයකට ගෙන ගියේය.“ ( රාවණ ගීත නාටකය - එය එසේ වූයේ කෙසේද යත් පසු සටහන ) ජේ.බී.සර් මනමෙ නරඹා රඟ හලෙන් පිටවී ගොස් ඇත්තේ චමත්කාරයෙන් පුරවා ගත් සිතකින් පමණක් නොව, මම ද කෙසේ හෝ විශ්වවිද්‍යාලයට යමි යන දැඩි අදිටනින් ද යුතුව යැයි සඳහන් කොට තිබේ. එහෙත් පාසල් සිසුවකුව සිටිය දී ම මනමෙ රැඟුමින් ලද ආවේශයෙන් (Inspiration) රාවණ නම් ගීත නාටකය රචනා කොට 1957 අගෝස්තු 10 වැනි දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරතන ශාලාවෙහි වේදිකා ගත කොට ද තිබේ.

වර්තමානයේ ප්‍රවීණ වාග්වේදියකු ලෙස සිංහල භාෂාව විග්‍රහ කිරීමෙහි ලා පමණක් නොව, නිර්මාණාත්මක ලේඛකයකු ලෙස ඔහු සතු කෞශල්‍යය විශද කිරීමට ද රාවණ ගීත නාටක මුද්‍රිත කෘතිය සාක්ෂි දරන බව අපට පෙනේ. ජේ.බී.සර්ගේ ගෝලයකු වන කොළඹ සරසවියේ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා රාවණ ගීත නාටකය මුද්‍රිත කෘතියේ ග්‍රන්ථ කීර්තනයේ (Blurb) මෙන්න මේ විදියෙ ප්‍රකාශයක් කරනවා. “කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස සරසවි පිවිසුම් විභාගය පෙනී සිටි සමයේ දී ඔහු රාවණා නමින් ගීත නාටකයක් ලියා නිෂ්පාදනය කළේය. 'රාවණා' විසි හැවිරිදි වියේ පාසල් ශිෂ්‍යයකුගේ රචනයක් වුව ද ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. රාවණ ගීත නාටකයක් ලෙස රඟදැක්වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමෙ දොරට වැඩි අලුතමය. සරච්චන්ද්‍ර මෙන් ම දිසානායකයන් ද සිය නාට්‍ය රචනයේ දී භාෂා ව්‍යවහාරයේ චමත්කාරය ඉස්මතු කරන්නේ පැරණි කවි සමයේ එන යෙදුම් ද සංස්කෘත තත්සම වචන ද උපයෝගී කර ගනිමිනි.

රාවණා තවුස් වෙස් ඉවත දමා නියම රාජ වේශයෙන් පෙනී සිට සීතා පොළඹවන්නට උත්සාහ ගන්නා මොහොතේ රාවණාගේ මුවට නංවන මෙ ගීයෙන් කෝපරහේවා මහැදුරු පවසන භාෂා ගුණය වගේම සරච්ච්න්ද්‍රගේ මනමෙ ගීවලින් ලද ආභාසයත් පේනවා.

සීතා:

නොමැති මුත් ඔබෙ ඉසුරු රජ මැඳුරු - මට

ඇතොත් මගෙ හිමි - රාම කුමරුන්

අන් සැපත් ලොව කුමටා

නොමැති මුත් ඔබෙ ඉසුරු මිණි රජමැඳුරු

ඔබේ ඉසුරු මිණි රජ මැඳුරු

මනමෙ නාටකයේ වැදි රජු :

රජ ඉසුරු නැත - නැත මිණි කිරුළු

ඇත මෙම හිමගිර - දෙන්නෙමි සියලු

පළමු ජවනිකාවේ දී රාම හා සීතා එක්ව ගයනා කරන මේ ගීතය අපට සිහිපත් කරන්නේ මනමෙහි ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයයි. 

රාම සහ සීතා :

සුව දෙවනාදිය දහර සිසිල් දෙමිනි

රළ පෙළි නා - රඟ දෙමි නා

ඇද හැළෙ නා - අති සොබ නා - සිරි

සල් සපු නා ගස් අතු පීරා ගෙන

ඇදෙන ළහිරු රැස් අසිරි මවා ගෙන

වැටෙන කලට විල්, තෝතැනි හැම තැන

සිරි නා - පරයමි නා

සුරවිම නා - නඳුනුය නා- ගත

සාම්ප්‍රදායික නාඩගම් ශෛලිය ම අනුගමනය කරන ජේ.බී, සර්, මනමෙ රචනාවේ වගේම, පොතේ ඉන්නිසය, තෝඩායම භාවිත කරනවා. රාම, සීතා, රාවණ, සුපර්ණිකා, ලක්ෂමන, ආදී ප්‍රධාන චරිත මගින් ලංකා පුත්‍රයකු වූ රාවණ රජුගේ බල මහිමය ගැන රචකයා ගේ සිතේ වූ අභිමානය ලෝකය හමුවේ කියා පෑමට මේ නාට්‍යයෙන් ඉඩ ලැබේ යැයි ජෙ.බී.සර් කල්පනා කළ බවත් කියනවා.

ජේ.බී.සර්, පාසල් ශිෂ්‍යයෙක්ව සිටිද්දී රචනා කොට පාසල් නිෂ්පාදනයක් විදියට රංගගත කළ මේ ගීත නාටකය නැවතත් වේදිකාගත කිරීමේ ආසාවක් ඇති බව මට බොහෝ වාරවල කියා තිබුණා මතකයි. ළඟදි දවසක සර් මට කියනවා, අන්න, මගේ රාවණා පිටපත නාමෙල් නිෂ්පාදනය කරන්න බාර ගත්තා කියලා. ඒත් මට නම් කල්පනා වුණේ ඒ පිටපත ඒ විදියටම අද දවසට ගැළපෙන්නෙ නැති වෙයි කියලා. රාවණා කතාවෙ නාට්‍යමය අවස්ථා, ගැටුමක් තිබුණත්, මට නම් හිතෙන්නෙ ඒ කතාවෙන් වර්තමානයට ඔබින විදියට නව අර්ථ කථනයක් මතු කිරීම අවශ්‍යයි කියලයි. රාවණා නිෂ්පාදනය ගැන මම නාමෙල් වීරමුණිගෙන් අහපු වෙලාවෙ ඔහුත් කිව්වෙ, පිටපත අදට හරියන විදියට වෙනස් කරන්න ඕන බව. ඒ ගැන ජේ.බී සර් එක්ක මේ දවස්වල කතා බහ කරමින් ඉන්න බවත් දැනගන්න ලැබුණා. ජේ.බී.සර්ගේ පළමුවන නිර්මාණ කාර්යය වේදිකාවෙ දකින්න, බලන්න, අපි ආසාවෙන් ඉන්නවා. නාමෙල්, ජේ.බී සුසංයෝගය අපේ නාට්‍ය වංශ කතාවෙ අලුත් සටහනක් ලියාවි කියල හිතෙනවා.

බුද්ධ­දාස ගල­ප්පත්ති

නව අදහස දක්වන්න