බෙහෙත් බිව්වට යකා ඇඟ ඇතුළෙ | දිනමිණ

බෙහෙත් බිව්වට යකා ඇඟ ඇතුළෙ

 දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක කථිකාචාර්යවරයෙක් ලෙස මෙන්ම විවිධ තනතුරු දරමින් ඉමහත් සේවයක් කළ ආචාර්ය ධර්මසේන පතිරාජ, සිය දිවියේ අවසාන කාලයේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස සේවය කළේය. ඔහුගෙන් හිස්වූ පුටුව මෙම ලිපිය සකස්වන මොහොත වනවිටත් පුරවා නැත. පතිරාජ සූරින් රෝගාතුරවීම හා එකී රෝගී තත්ත්වය පිළිබඳ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් නොදන්නා තත්ත්වයක් තිබුණද, එය දැන ඔහුට උවටැන් කිරීමේ වගකීමද, පැවරී තිබුණේ ගාමිණීටය.

"සර්ගේ රෝගී තත්ත්වය ගැන සැකයක් තිබුණත්, ඒ ගැන මට කියලා තිබුණේ නෑ. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙදි වගේ මුලින්ම ඉන්දියාවෙ ගිහින් ආවට පස්සේ ඒ ගැන තහවුරු වෙලා තිබුණා. කොච්චර බෙහෙත් බීවත් වැඩක් නෑ. ඇඟ ඇතුලේ යක්ෂයා ඉන්නවා' කියලා සර් නිතරම කීවා. ඒත් වෙලාවට බෙහෙත් ටික තෝරලා දෙන්න කියලා මට කියලා තිබ්බා. මම කෑම ටික බෙදලා දීලා බෙහෙත් ටික නොවරදවාම දෙනවා. කොහේ ගියත් මොන වැඩේ කළත් වෙලාවට බෙහෙත් ටික දෙන්න අමතක කළේ නැහැ." ගාමිණී කියයි.

පසුගිය කාලයේ පතිරාජ නැවතී සිටියේ ගල්කිස්ස, සමුද්‍ර මාවතේ නිවසකය. ගාමිණී පෙන්වාදෙන පරිදි නිවසේ ආහාර පිසීම සඳහා කෙනෙකු උදෑසන නිවසට පැමිණෙයි. උදෑසන ආහාර පිළියෙල කොටදීමෙන් පසු දිවා ආහාරය පාර්සල් කිරීම හෝ අසුරා තැබීම සිදුවන්නේද, ගාමිණී අතිනි. ඉක්බිතිව දෛනිකව ලබාගන්නා ඖෂධ, වතුර ආදී සියල්ල වාහනයේ අසුරා තබා ගැනීමේ කටයුත්තද ගාමිණීටම බාරය.

"ඔයා කොළඹ රස්සාවට එන්නේ කොයි කාලෙද? කොහොමද පතිරාජ සර්ව හම්බවෙන්නේ? මම විමසුවෙමි.

"මම ගාල්ලෙ. දෙදාස් දාසය අවුරුද්දේ නොවැම්බර් මාසෙ විසි හය වෙනිදා තමයි මං සම්මුඛ පරීක්ෂණයට ආවේ.මෙහේ ආවට පස්සෙ තමා සර් හම්බවුණේ. ඊට කලින් මං සර්ව දන්නෙ නෑ. මුලින්ම සර් තමා මාව සම්මුඛ පරීක්ෂණයට අරන් මගෙන් විස්තර ඇහුවෙ. ඊට පස්සෙ මාව තෝරාගෙන මුලින්ම ආයතනයේ වෑන් රථයකට අනියුක්ත කරලා රස්සාව දුන්නා."

දැඩි නීති රීති පනවා පරිපාලනය කිරීමේ පුරුද්දක් පතිරාජට නොවීය. එහෙත් ආයතනයේ සුළු සේවකයාගේ සිට සෑම අයෙක් දක්වාම දුරින් සිට හෝ නිරීක්ෂණය කිරීමට ඔහුට හැකියාවක් තිබිණි. ඒ නිසාම ආයතනයේ බොහෝ දෙනෙක් පිළිබඳ යම් තක්සේරුවක් ඔහුට තිබුණු බැව් පෙනෙන්නට තිබේ.

"වෑන් එකේ මාස තුනක් විතර රස්සාව කෙරුවට පස්සෙ, සර් හදිසියේම මාව කැඳෙව්වා. ඒ වෙලාවෙ වැඩි කතා බහක් කෙරුවෙ නෑ. වෑන් එක වෙන කාට හරි දීලා මං ගාව වැඩකරන්න කැමතිද? කියලා ඇහුවා. මං 'හා' කීවා. ඊට පස්සෙ ඒ වෙනකල් සර් ළඟ වැඩකරපු කෙනා වෑන් එකට දාලා මාව සර්ගෙ වාහනයට මාරු කළා. එතැන් ඉඳන් තමා මට සර්ව ළඟින්ම ආශ්‍රය කරන්න ලැබුණේ"ගාමිණී කියයි.

'ගම ගාල්ලේ' වුණු ගාමිණී, ඇතැම් සතියක සිකුරාදා රාත්‍රීයට ගමට යයි. යළි රැකියාව සඳහා පිටත්ව එන්නේ සඳුදාටය. එහෙව් දිනෙක බස් රථ ප්‍රමාදයක් නිසා නියමිත වේලාවට ආයතනයට පැමිණීමට ඔහුට නොහැකි විය. ඔහුට පතිරාජ සර්ගෙන් කැඳවීමක් ලැබිණි.

"මොකද පරක්කු? ඔහු විමසුවේය.

"වෙනදා වෙලාවටම තමා ගෙදරින් ආවේ සර්. ඒත් බස් එක පරක්කු වුණා"

"හා. එහෙමද? එහෙනම් දැන් යන්න" පමාවේ වැරැද්දට තමාට බැණුම් ඇසීමට සිදුවනු ඇතැයි ඔහු අපේක්ෂා කළද, එවැන්නක් සිදුනොවිණි. තම ආයතන ප්‍රධානියා පිළිබඳ ඔහුට ඉමහත් ගෞරවක් ඇතිවිය.

"ඇත්තටම සර් කියන්නේ දෙවියන් අතර සිටින මනුෂ්‍යයෙක්. මනුෂ්‍යයන් අතර සිටින දෙවියෙක්. මට වෙලාවකට ගුරුවරයෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, ඒ විතරක් නෙවෙයි හොඳම හොඳ යාළුවෙක්.

අන්තිම කාලයේ සර් බීම පාලනය කරලා තිබ්බෙ. පාටිවලට ගියාට බීවෙ නෑ. මට බොන්න කියලා බල කරන්නෙත් නෑ. එපා කියන්නෙත් නෑ. ඒත් බීමේ ආනිසංස ගැන සෑහෙන්න දේවල් කියනවා" ගාමිණී සිහිපත් කරයි.

ගල්කිස්ස නිවසේ සිට ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයට පැමිණීම මෙන්ම පතීගේ මහනුවර ප්‍රීම්රෝස් ගාඩ්න්හි නිවසටද නිතර යාමට ඒමට ගාමිණීට සිදුවිය. කොතැනකට යාමට ඒමට සිදුවුවද, ඒ සෑම තැන්හිම තමාට හොඳින් සැලකීමට ඔහු අමතක නොකළ වග ගාමිණී අද, සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙනි.

"දරුවෙකුට හා සමානව මට සැලකුවා. සර්ගෙ හැමදේම හොයලා බලලා කළේ මම. ඉස්පිරිතාලෙ ඉන්නකොටත් ළඟ හිටියේ මම. නුවර ගෙදර ගියාමත් මට වෙනම කාමරයක් දුන්නා. කෑම බීමේ ‍කිසිම වෙනසක් කළේ නෑ. සමහර වෙලාවට සර්ගෙ අසනීප තත්ත්වය නිසා කෑම ගන්නෙ ටිකක් අඩුවෙන්. සමහර කෑම ජාති කෑවෙ නෑ. ඒත් අපි එකටම තමා කෑම කෑවේ. ඒ වෙලාවට, මං ඕව නොකෑවට ගාමිණී කන්න කැමතියිනෙ ඒ නිසා හදන්න කීවා' කියලා කියනවා. මීටින් එකකට ගියත් ගාමිණී උඩට එන්න කෑම කන්න කියලා ආරාධනා කරනවා. කවදාවත් මාව 'ඩ්‍රයිවර්' කියලා හිතාගෙන වැඩ කෙරුවෙ නෑ" ඔහු කියයි.

තමා සමඟ සිටින මිතුරන් මෙන්ම කාර්ය මණ්ඩලයේ සමීපතමයින්ගෙ දුක සැප සොයා බැලීමටද, පතී කිසි විටකත් අමතක නොකළේය. කිසිවකුට හෝ තමාගෙන් ඉටුවිය යුතු යමක් ඇත්නම් නොපැකිල ඒ දේ ඉටුකරදීමට ඔහු වග බලාගත්තේය. තවත් දවසක වැටුපෙන් අත්තිකාරම් මුදලක් ලබාගැනීමට ගාමිණීට අවශ්‍ය විය. ඒ සඳහා ඔහුට තම ප්‍රධානියාගේ අනුමැතිය අවශ්‍ය විය.

"මොකද ගාමිණී සල්ලි හදිස්සිය? පතී විමසුවේය.

"අපෙ අප්පච්චිගෙ ඇහැට කාචයක් දාන්න සර්?

එහෙම කියද්දී පතී, තම උපැස් යුවළ සීරුවට ගලවා මේසය මත තබා ගාමිණී දෙස හොඳින් බැලුවේය.

"වියදම කීයක් වගේ යනව කියනවද?

"විසිදාහක් විතර සර්"

"හ්ම්. ගාමිණී දැන් යන්නකෝ"

ඒ පිළිබඳ එතැනදී සිදුවූ කතා බහ එපමණකි. එහෙත් පසුදින ගාල්ලෙ නිවසට යන්නට ගාමිණීට රුපියල් විසි දහසක මුදල පතිරාජ තමා අත තිබුණු පුද්ගලික මුදලින් ලබාදී තිබුණි. මීට අමතරව ගමේ පොදු වැඩ, දුෂ්කර පාසල්වල දරු දැරියන්ට පොත් පත් හා පාසල් උපකරණ ලබාදීම් ආදියේදි ද නොමසුරුව හැකි පමණින් දායකවීමට පතී යුහුසුළුව ඉදිරිපත් විය.

පතීට විටෙන් විට උණ, කැස්ස, වමනය යාම්, ක්ලාන්ත ගතිය ආදී විවිධ රෝග ලක්ෂණ පහළවෙද්දී' ඒ සෑම අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගත්තද, එයින් නිට්ටාවට සුව වන බවක් පෙනුණේ නැත. ඒ නිසාම අමාත්‍ය, දොස්තර රාජිත සේනාරත්නගේ මැදිහත්වීම මත ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ගොස් සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් කර ගැනීමට අවසානයේ හෙතෙම එකඟත්වය පළ කළේය.

"ගාමිණීට මාත් එක්ක එන්න පුළුවන්ද?" කියලා සර් ඇහුවා. එන්න නම් පුළුවන් සර් ඒත් මට පාස්පෝට් නෑ. සල්ලිත් නෑ කියලා මං කීවා. ඒවා ඔක්කොම මං බලාගන්නම් කියලා සර් කීවා. ඒ විදිහට සර් එක්ක මමත් ඉන්දියාවට ගියා. "එහෙදි බෙහෙතක් සැර වෙලා ටිකක් අමාරුවුණා. ආයෙම සුව අතට හැරුණා. එහෙදි ක්‍රිෂෝ කියලා යාළුවෙක් ඉඳලා එයා උදව් කළා. අපිව ගුවන්තොටුපළට එක්ක ආවෙත් සර්ගෙ යාළුව ක්‍රිෂෝ."

"ඒ පරීක්ෂාවෙන් පස්සෙ සර් මොකද කීවේ? ප්‍රශ්නය මගෙන්.

"කොච්චර බෙහෙත් බීවත් වැඩක් නෑ ඇඟ ඇතුළේ යකා ඉන්නවනෙ කියන එක තමා ඒ වෙලාවෙත් කීවේ"

ඉන්දියාවට ගොස් රෝගී තත්ත්වය පරීක්ෂා කර ගැනීමට මෙන්ම රෝගී වූ කාලයේ බොහෝ කටයුතු වලදී වෝල්ටර් සර් (වොල්ටර් අබේසුන්දර) සහය වූ බව ගාමිණී කියා සිටියි.

"මුලින්ම ඉන්දියාවෙ යන්න වෝලටර් සර් තමා උදව් කළේ. එයත් එක්කම තමා ගියේ. ජයවර්ධන පුර රෝහලේ නැවතිලා ඉඳිද්දිත් ‍වෝල්ටර් සර් තමා එයාලගෙ ගෙදර උයලා පිහලා කෑම ටික දුන්නෙ. මම තමා එහෙට ගිහින් කෑම බීම අරන් ආවෙ. කඩේ කෑම, සර්ගෙ අසනීප තත්ත්වය එක්ක හරියන්නෙ නැති නිසා සුදුසු විදිහට උයලා දුන්නෙ වෝල්ටර් සර් තමා"

ආචාර්ය ධර්මසේන පතිරාජ රෝගාතුරවීම මෙන්ම රෝහල් ගතවීම් වලදී ක්ෂේත්‍රයේ නමගිය පුද්ගලයින්, ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම රටේ නම ගිය ප්‍රභූන් ද, විටින් විට පැමිණ ගිය බැව් ගාමිණී දනියි. අතැම්විට පතී ඔවුන් හමුවීමට ගිය අවස්ථාද තිබිණි. ඒ බොහෝ අවස්ථාවල ළඟින් සිටි නිසාම ඔවුන් කළ කී දෑ පිළිබඳවද ගාමිණීට යම් තක්සේරුවක් තිබේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හමුවීමට ගිය බවත්, පතී රෝගාතුරුව සිටියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු බැහැදකින්නට පැමිණි බවත් ගාමිණී සිහිපත් කරයි.

"සාමාන්‍යයෙන් සර් හම්බවෙන්න කෙනෙක් ආවම එයා පුද්ගලික දේවල් ඉල්ලන්නෙ නෑ. ජනාධිපතිතුමා ආව වෙලාවෙත් සර්, නුවර මාලිගාව ඉස්සරහ පාර වහලා තියෙන එක ගැන, ඒකෙන් මිනිසුන්ට වෙන අවහිරය, වාතය දූෂණ වන නිසා නුවර වැඩි දෙනෙක් ලෙඩ වෙන එක ගැන කරුණු කීවා. ඉස්සර කරපු වැරදි කරන්න එපා කියලත් කීවා"

ජනාධිපතිවරයා, පතීට සාවධානව ඇහුම්කන් දුන් බව ගාමිණී සඳහන් කළේය. මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් පතීට 'ශ්‍රේෂ්ඨ ධර්මරාජ පුතෙක්' ලෙස කෙනකුට ජීවිත කාලයටම ලබාදෙන එකම සම්මානය' ලබාදීමට සැලසුම් කර තිබුණත්, ඔහුට එම උත්සවය සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබුණි. එම සම්මානය රෝහල වෙත ගොස් ලබාදීමට සංවිධායකයින් කැමැත්ත පළ කළද, පතී ඊට කැමති නොවුණු බැව් ගාමිණී කියා සිටියි.

''මං දැන් ලෙඩෙක්. ලෙඩෙකුට සම්මාන ඕන නෑ. ඕක වෙන කාට හරි දෙන්න කියලා සර් කීවා".

ජීවිතේ අවසාන අදියරේ සිටියදී පවුලේ සමීපතමයකු මෙන්ම මිත්‍රයකු මෙන් තමාට බොහෝ දේ කියූ පතී, ජීවිතයේ කිසිදු දෙයක් පිළිබඳ පුද්ගලිකව කනගාටු වූ බවක් පෙන්නුම් නොකළ නමුත් අවසානයට ඔහු සේවය කළ ආයතනයේ සුබ සිද්ධිය සඳහා දුටු සිහිනයක් තිබුණු බැව් ගාමිණී අවධාරණය කළේය.

"මේ ඉඩම පදනමට අයිති ඉඩමක්. ඒක පදනමේ අයිතියෙන් අයින් කරලා 'ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය' නමට ස්වාධීන ඔප්පුවක් තියෙන්න ඕන කියලා සර් විශ්වාස කළා. ඒ වෙනුවෙන් මාත් එක්කම වගකිව යුතු අය හම්බවෙන්න ගිහින් කතා කළා. ඒ වගේම මේක විශ්වවිද්‍යාලයක මණ්ඩපයක් විදිහට සංවර්ධනය කරන්න සර්ට ඕනකම තිබුණා. ඒක කරන්න සර්ට බැරිවුණා."

ගාමිණී කිත්සිරි අවසාන වශයෙන් කියා සිටියේය. ක්ෂේත්‍රයේ යුග පුරුෂයකුට අත්වැලක් වූ ඔහුට සමුදී මම 'ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතන පරිශ්‍රයෙන්' එන්නට හැරුණෙමි.

හෙට - පතී සමඟ 'පුටු' කළ හැටි මාලිනී වීරමුනි සිහිකරයි.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න