කුණාටුවෙන් පසු නවෝදයක්! | දිනමිණ

කුණාටුවෙන් පසු නවෝදයක්!

“දේශපාලනය සියලුම දේ සමඟ ද සියලුම දේ දේශපාලනය සමඟද විෂයබද්ධව තිබේ.” - වත්මන් චීනයේ නිර්මාතෘ මාඕසේතුං

ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සහ ආර්ථික ක්ෂේත්‍රයේ අනාගත හැඩරුව සකස් කිරීමට බෙහෙවින් දායකවන්නාවූ ගති ලක්ෂණ සහිත විශ්වාසභංගය ජයගැනීමට අගමැතිවරයා සමත් විය. විශ්වාසභංගයේ දෝංකාරය තවම නිමව නැත.

පාකිස්ථාන් ඔබ්සෝවර් පුවත්පත ඉකුත් 6 වනදා ශ්‍රී ලංකා අගමැතිවරයා හඳුන්වා දී තිබුණේ මෘදු ගතිගුණ සහිත ජනනායකයකු ලෙසය. විශ්වාසභංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වී නම් ඇතිවන ප්‍රතිඵල මෘදු ඒවා නොවේ. එසේ වී නම් රට දේශපාලන අස්ථාවරයකටත්, ආර්ථිකය අවුල් තත්ත්වයකටත් පත්වීමට හොඳටම ඉඩකඩ තිබුණි. දැන් ඒ අනතුර මගහැරී ගොස් තිබේ.

ශ්‍රී ලංකාවට ආධාර කරන රටවල් මෙන්ම, දේශීය හා විදේශීය ආයෝජක ප්‍රජාව ද විශ්වාසභංග‍යේ ප්‍රතිවිපාක ගැන දෙගිඩියාවෙන් පසුවූහ.

යුරෝපා සංගමය

විශ්වාසභංගය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ විවාද වනවිට යුරෝපා සංගමයේ සය පුද්ගල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියහ. යුරෝපා සංගමයේ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ ප්‍රධානියා ද මේ නියෝජිත පිරිස අතර විය. යුරෝපා සංගමය යනු රටවල් 28ක රාජ්‍ය හවුලකි. එසේම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ දෙවන විශාලතම අපනයන වෙළෙඳ පොළයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසභංග යෝජනාව සහ එහි ඡන්ද විමසීම නිරීක්ෂණය කළ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළ JAN ZAHRADI කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශ්වාසභංගය ක්‍රියාත්මක වූ ආකාරය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදි ස්වරූපයක් ගත් බවයි. ආණ්ඩුවකට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ඇතැයි කී ඒ මහතා එම විශ්වාසභංගයට ප්‍රජාතන්ත්‍රවාදිව මුහුණදීමට ආණ්ඩු පක්ෂයට ද අයිතියක් ඇතැයි කීවේ ය. මෙසේ අපේ රට යුරෝපා සංගමයේ පැසසුමට ලක්වීම ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ආර්ථික සහ‍යෝගිතාව සඳහා ධනාත්මක බලපෑමක් ඇති කරවන්නකි.

රොයිටර් ආර්ථික විශ්ලේෂණය පසුගිය සති කීපයක සිට ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරභාවය ගැන සැක පළ කෙළේය. රොයිටර්ගේ මේ වාර්තා අන්තර්ජාතික ආයෝජකයන්ගේ අවධානයට ලක්විය. එම තත්ත්වය කොටස් වෙළෙඳ පොළේ විදේශ ආයෝජන ඉවත්කර ගැනීමට ද ඇතැම්විට බලපෑවේය. එහෙත් විශ්වාසභංගයෙන් පසු රොයිටර් මූල්‍ය වෙළෙඳ පොළ වාර්තාව ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කළ විවරණයෙන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ පිබිදෙන අන්දම විදහා පෑවේය.

ජී.එස්.පී.සහනය

ඉන්දියාවේ බිස්නස් ස්ටැන්ඩර්ඩ් පුවත්පතද විශ්වාසභංග ජයග්‍රහණය තුළ ඇති ආර්ථිකමය වටිනාකම ගැන කතා කර ඇත. එම විවරණයට අනුව විශ්වාසභංගය ජය ගැනීම විදේශීය ආයෝජකයන්ගේ නැඹුරුවීම කොළඹ දෙසට හරවන සිද්ධියකි. මාර්තු 28 වනදායින් පසු කොළඹ කොටස් වෙළෙඳ පොළ වඩාත් සක්‍රිය වූයේ අප්‍රේල් 5 වනදා යැයි එම පුවත්පත කියයි. මිනිස් අයිතින් සහ කම්කරුවනගේ තත්ත්වය උසස් කිරීම යුරෝපා සංගමයේ සහාය වඩ වඩා සවිමත් කිරීමට හේතුවන බවද යුරෝපා සංගම නියෝජිතයනගේ අදහසයි. ඉදිරියටත් ජී.එස්.පී.සහනය ලබාදීමට ද ඔවුහු සහාය පළකළහ.

නවසීලන්තය යුරෝපීය සංගමයෙන් බැහැර රටකි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් යොහානා කෙම්ප්කර් මහත්මිය ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා හමුව පසුගියදා කියා සිටියේ ධීවර කර්මාන්තයේ දියුණුව සඳහා සිය රටේ සහාය ලබාදෙන බවයි. එසේම ධීවර අංශයේ ව්‍යාපෘති සඳහා ආයෝජකයන් දිරිමත් කරන බවද එතුමිය කියා සිටියාය.

මුහුදු ධීවර කර්මාන්තයේ කළමනාකරණ අංශය පිළිබඳව නවසීලන්තයට අත්දැකීම් රාශියක් තිබේ. මේ අත්දැකීම් පිළිබඳව මෙරට ධීවර නිලධාරින් ප්‍රමුඛ සෙසු අංශවලට දැනුමක් ලබාදීමට නවසීලන්තය සූදානම් බවද මහකොමසාරිස්වරයා පවසා ඇත.

මන්නාරම් දිස්ත්‍රික්කයේ ධීවර නිෂ්පාදන සකස් කිරීමේ ව්‍යාපෘතියකට නවසීලන්තය දැනටම සම්බන්ධව සිටී. මේ කටයුතු තවතවත් දියුණු කිරීමට එම ආයෝජකයන් සූදානම් ව සිටින බවද මේ හමුවේ දී ප්‍රකාශ ව තිබේ. නවසීලන්ත ව්‍යාපාරික දූත පිරිසක්ද කොළඹට ළඟා විය.

මේ අවස්ථාවේ දී ධීවර ඇමැතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නව ප්‍රවණතා රාශියක් පෙන්නුම් කර ඇති බවයි. ඇමැතිවරයා නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල මිරිදිය ජලාශයක් වන රිදියගම ජලාශයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණුව ලබා ඇති අන්දම එහි සංචාරයක නියැළි අපට පසුගියදා ඇස්පනා පිටදීම දැක ගැනීමට අවස්ථාව ලැබුණි.

රිදියගම ජලාශය පමණක් නොවේ. තිස්ස, වීරවිල, යෝධවැව සහ බඳගිරිය යන ජලාශ තුළද දැන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණුව තිබේ. ඇතැම් ජලාශවල බෝකර ඇති මිරිදිය ඉස්සන් අපනයනය සඳහා ද යොදා ගැනේ. එසේම උතුරේ මිරිදිය ජලාශවලද අපනයනය සඳහා මිරිදිය මත්ස්‍ය විශේෂ හඳුන්වා දී තිබේ. මන්නාරම AQUACULTURE ව්‍යාපෘතියකින් ධීවර කර්මාන්තයේ නවමං රැසක් විවෘත වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගාඩියන් පළකර තිබූ පුවතකට පාදක කරගෙන තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රකාශයකි. දේශපාලන අස්ථාවරත්වය දිගටම රට තුළ දක්නට ලැබෙන්නේ නම් රටේ ආර්ථික බලමහිමයට හානියක් සිදුවන බව ඔහු කියා තිබේ.

විශ්වාසභංගය ඉදිරිපත් වූ පසු ඉදිරි කාලය සඳහා වන නව ආර්ථික සැලැස්මක් ගැනද ආණ්ඩුවේ පාර්ශ්ව සාකච්ඡා කළහ. 2017 වර්ෂයේ ආර්ථික වර්ධනය ඉක්මවමින් සියයට 5 ක ආර්ථික වර්ධනයක් සහ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණයක් 2018 වසරේ ලබාගන්නා බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අප්‍රේල් මුල් සතියේම ප්‍රකාශ කෙළේ ය.

මේ වසරේ වී නිෂ්පාදනය ඉහළ මට්ටමකට පැමිණෙන බවට ලෝක ආහාර සංවිධානය අනාවැකි පළ කර ඇත. ගොවි ජනතාවට පොහොර ලබාදීමේ පිළිවෙත සහමුලින්ම වෙනසකට ලක් කිරීමට ආණ්ඩුව ගිය සතියේම පියවර ගත්තේය. ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ පරිවර්තන ඇති කරන නව අණපනත් කීපයක් ළඟදීම හඳුන්වා දීමට නියමිතය. එසේම ඍජු විදේශ ආයෝජනය ආකර්ෂණය වේගවත් කිරීම සඳහා EASE OF BUSINESS INDEX දර්ශකය 70 මට්ටමට ගෙනඒමට පියවර ගනිමින් තිබේ. ඒ සඳහා ඔන්ලයින් ලියාපදිංචිය දැන් ක්‍රියාත්මක වේ. සමාගමක් ලියාපදිංචිය සඳහා යන කාලය අඩුවීම එමගින් සිදුවේ. ඉදිරියට යන ආර්ථිකයක් ආපේක්ෂා කරන රටවල් සියල්ලම පාහේ අන්තර්ජාල පහසුකම් කෙරේ වඩවඩා ළංවේ. සමාගම් ලියාපදිංචියකට දින 6ක කාලයක් වැයවීම මේ නිසා අඩුව යයි.

කෘෂිකාර්මික ප්‍රගතියක්

රජයේ කාර්යාල රාශියක කටයුතු දැන් ඔන්ලයින් ක්‍රමයට පෙළ ගස්වමින් තිබේ. ඩිජිටල් තාක්ෂණය ව්‍යාපාරික අංශයට පිවිස හමාරය.

මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග ගිය සතියේ ජනාධිපතිවරයා පවත්වන ලද සාකච්ඡාවේ දී ද අවධාරණය කෙරුණේ සංවර්ධන ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යන බවය. එසේම සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරන බව ද එහිදී කියැවිණි. වඩාත් විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යාංශ වෙන් කැරෙන කැබිනට් සංශෝධනයක් පිළිබඳව ද පසුගිය සතියේ වාර්තා පළවිය.

පසුගිය විශ්වාසභංග විවාදයට පෙර රට තුළ ගොඩනැගෙමින් තිබුණු දේශපාලන අස්ථාවරත්වය සහ ඊට සමගාමි වූ ආර්ථික නොනගතය පිළිබඳව රටේ වාණිජ මණ්ඩල පවා කනස්සල්ල දැක් වූ අවස්ථා තිබුණි. ඔවුන්ගේ කනස්සල්ලට එක් හේතුවක් වූයේ 2018 වසරේ ප්‍රථම කාර්තුවත් සමග කිසියම් ආර්ථික නැගිටීමක ලකුණු පහළවීමට සමගාමීව මේ විශ්වාසභංග කාලබෝම්බය ඇටවීමයි.

2018 මාර්තු ආර්ථික වාර්තා අනුව කෘෂිකාර්මික නිෂ්පාදන වර්ධනයක් ද, අපනයන ආදායම් වැඩිවීමක් ද සංචාරක කර්මාන්තයේ ආදායම් ඉහළ යෑමක් ද වාර්තා විය. එසේම තේ නිෂ්පාදනය සහ තේ අපනයනය ද සතුටුදායක ප්‍රතිඵල උදාකරන අන්දම දිස්විය. එහෙයින් වාණිජ මණ්ඩල පවා අනතුරු අඟවමින් කියා සිටියේ ආර්ථික අස්ථාවරත්වයත් දේශපාලන අස්ථාවරත්වයත් නතර කළ යුතු බවයි.

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ආර්ථික ගැටලු මෙන්ම ඒවයින් අත්මිදීමේ උපායමාර්ග පිළිබඳවද ලියකියවිලි රාශියක් මෑතක සිට ප්‍රසිද්ධ විය. ආණ්ඩුව පවා විවිධ ආර්ථික ප්‍රතිපත්තින් ඉදිරිපත් කරන ලදී. සමහර තීරණ වෙනස් කළ අවස්ථා ද තිබුණි.

ජාත්‍යන්තර සහාය

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සමන් කැලේගම ආර්ථික විද්‍යාඥයා අවස්ථා කීපයකදීම ඔහුගේ යෝජනා ඉදිරිපත් කෙළේය. රටේ නිෂ්පාදනය වැඩිකිරීම සහ අපනයන අවස්ථා වැඩිකර ගැනීම ද අපනයනය පරදා ඉහළ යන ආනයනය අඩුකර ගැනීම ද ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද මේ සෑම ආර්ථික යෝජනාවලියකම සඳහන් වූ යෝජනාය.

එසේම ණය උගුලෙන් මිදීම ද, රාජ්‍ය සන්තක ව්‍යාපාර පාඩු අඩුකර ගැනීම ද තවත් යෝජනා අතර වේ. මේ සෑම ප්‍රශ්නයකදීම ජාත්‍යන්තර සහාය ද අවශ්‍ය වේ. එසේම ජාත්‍යන්තර තත්ත්වයද ඍජුවම බලපෑම් කරයි.

මේ වනවිට ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය පටන්ගෙන තිබේ. ඇමෙරිකාව චීන භාණ්ඩ සඳහා ද චීනය ඇමෙරිකානු භාණ්ඩ සඳහා ද බදු පනවමින් සිටී. ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ඉහළම අගය වාර්තා කරන වෙළෙඳපොළයි. චීනය ශ්‍රී ලංකාවේ ඉහළම ආනයන අගය වාර්තා කරන ගනුදෙනුකරුවා ය. ඇමෙරිකා ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ගනුදෙනුවල දී ශ්‍රී ලංකාවට වෙළෙඳ වාසිය හිමිව ඇත. චීනය සමග සිදුවන ගනුදෙනුවල වැඩි වෙළෙඳ වාසිය චීනයටයි.

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ආර්ථික ප්‍රශ්න හා විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් පෙබරවාරියේ අග කොළඹ දී පැවැත්විණ. නිව් තින්කර්ස් සිම්පෝසියම් නමින් හැඳින්වුණ මේ සාකච්ඡා මණ්ඩපයට සහභාගි වූ පෞද්ගලික අංශයේ මෙන්ම වාණිජ මණ්ඩලවලට සහසම්බන්ධ තරුණ ආර්ථික විද්‍යාඥයන්ට ඔවුනගේ අදහස් කියා පෑමට අවස්ථාව හිමිවිය. තරුණ ආර්ථික විද්‍යාඥයනගේ අදහස් පිළිපැදීමෙන් චීනය වත්මන් ආර්ථික සංවර්ධනයට මඟ සලසා ගත්තේය. ඒ සඳහා පුරෝගාමී වූ නායකයෝ දියුණුවන ලෝකයට ඔබින පරිදි චීන ආර්ථිකය රෙපෙයාර් කර ගත්හ. අද චීනය ලොව දෙවන ආර්ථික බලවේගයයි. තරුණ ආර්ථික විද්‍යාඥයනගේ හඬට ශ්‍රී ලංකාවද සවන් දිය යුතුය.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න