ගමට දැනෙන කෝටියක් වැඩ කළ හැකි තරුණ පිරිසක් ගමෙන් බිහි වෙලා | දිනමිණ

ගමට දැනෙන කෝටියක් වැඩ කළ හැකි තරුණ පිරිසක් ගමෙන් බිහි වෙලා

කමනි අල්විස්

කුමාරවරුන්ට මාලිගා හදන්න මුදල් නොදුන් අගමැති ගම හදන්න තරුණයන්ට මුදල් දුන්නා
- ජාතික තරුණ සේවා සභාවේ සභාපති ‍නීතිඥ එරන්ද වැලිඅංගේ

ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ශක්තිමත් ව්‍යාපාරිකයන් බවට තරුණයන් පත්කිරීම අරමුණයි
- ඇමැති සාගල රත්නායක

ගම දියුණු කළ යුත්තේ තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් බවට ගත් තීරණයේ මාහැඟි ප්‍රතිඵල නෙළා ගනිමින් ගමේ අඩුපාඩු හඳුනා ගනිමින් ඒවා විසඳාගෙන යමින් ගමට දැනෙන කෝටියක වැඩ ඉටුකර දෙන තරුණ තරුණියන් ගමෙන් බිහිවී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ගම ගොඩනැ‍ඟීම වෙනුවෙන් උරදී නායකත්වය ගනිමින් ක්‍රියා කළ තරුණ තරුණියන්ට මෙහි දී අගමැතිවරයා ප්‍රශංසාව පුද කළේය.

යොවුන් සමාජ සඳහා ගම නැංවීමට ලබා දුන්නේ රුපියල් කෝටි හතළිස් පහක් වුවද තමන්ගේ ගමට රුපියල් කෝටි සීයකට වඩා මෙහෙවරක් ඉටුකර දීමට මේ තරුණ තරුණියන් පියවර ගෙන තිබෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ ක‍ෙළ්ය. අමුද්‍රව්‍ය පමණක් නොව ශ්‍රමය තාක්ෂණ දැනුම යන සෑම දෙයක්ම ව්‍යාපෘතියක් ගොඩනැංවීමට අවශ්‍ය වන බව පැවැසූ අගමැතිවරයා ඒ සියලු පිරිවැය එකතු කළ විටද තම ගමේ උන්නතිය වෙනුවෙන් විශාල මුදලක් යෙදවීමට තරුණියන් සහ ගමේ ප්‍රජාව පියවර ගෙන තිබෙන බවත් සිහිපත් කර දුන්නේය.

අදට වඩා හොඳ හෙට දවසක් රටට උරුම කරදීම සඳහා ගෙන යන ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙළට තරුණ තරුණියන්ගේ සහාය අපේක්ෂා කරන බව පැවැසූ අගමැතිවරයා රට ගොඩනැංවීමේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ශීඝ්‍රව සහ සෙමින් අංශ දෙකකින් ක්‍රියාත්මක වන බව පැවැසීය. එහි දී ශීඝ්‍රයෙන් යා යුතු අවස්ථාවල දී එලෙසත් සෙමින් යා යුතු අවස්ථාවල දී සෙමිනුත් ක්‍රියාත්මකවීම් සිදුවන්නේ යැයිද අගමැතිවරයා අවධාරණය කළේය.

‘යූත් විත් ටැලන්ට්’ තරුණ ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති තුන්දහසක ජයග්‍රාහකයන් ඇගැයීම හා සම්මාන පිරිනැමීම පෙරේදා (09) අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහි දී පැමිණ සිටි තරුණ තරුණියන් අමතා අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මේ වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මක වුණි. රට පුරා ව්‍යාපෘති තුන්දහසක් ගම් මට්ටමින් වසර 2016 දී නිම කර තිබේ. ජාතික තරුණ සේවා සභාව රුපියල් මිලියන 4500ක මූල්‍ය දායකත්වයක් ලබා දී තිබේ. තරුණ හා ප්‍රජා දායකත්වය හා ව්‍යපෘති අගය මිලියන 12000කි.

ජාතික තරුණ සේවා සභාවේ යෞවන යෞවනියන්ගේ රංගනයෙන් හා වාදනයෙන් මේ චාම් උත්සව අවස්ථාව වර්ණවත් කළේය.

ව්‍යාපෘතීන් තුන්දහසක් අගයමින් සම්මාන පිරිනැමුණි. මෙහි දී සංකේතාත්මකව ජාතික තලයේ සම්මාන තුන අගමැතිවරයා අතින් පිරිනැමුණේ කුරුණෑගල ‘සිංහලේ අපි’ නුවරඑළිය වලපනේ ‘බ්‍රේව් හාට්ස්’, මාතලේ විල්ගමුව ‘සත්සර’ යොවුන් සමාජ සඳහාය.

මෙහි දී තරුණ තරුණියන්ගේ විශ්වාසය හා ගෞරවය අගමැතිවරයා වෙත පුද කරමින් බුදුපිළිමයක් තිළිණ කළේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාය.

තව දුරටත් එහි දී අහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

තරුණ නායකත්වයෙන් ඉදි වුණ හිනිදුම පාලම විවෘත කළා. පසුව එම පළාතට ගංවතුර තර්ජනය ඇති වුණා. එම විපතින් පාලමට කිසිම අනතුරක් සිදුනොවුණ බව ඒ ගැන විපරම් කරද්දී දැන ගත්තා. ශක්ති සම්පන්නව එම ඉදිකිරීම් සිදුවී තිබුණු බව පැහැදිලි වුණා. ව්‍යාපෘති, ඉදිකිරීම් පමණක් නොවේ. තරුණ පිරිස් අතර ගම පිළිබඳ ලබැඳියාවක් ද මේ තුළින් ඇති වෙනවා.

ණය බරින් පිරුණ රටක් අපිට ලැබුණා. එම ණය බේරගෙන ආයෝජන අපනයන වෙළෙඳාම වැඩිකර ගැනීමට සැවොම එක්වී කටයුතු කරමු. නිෂ්පාදනය, අපනයනය වැඩි කරමු. රටේත්, ගමේත් ඔබේත් දියුණුව අවශ්‍යයි.

ඇමැති සාගල රත්නායක මහතා පැවැසූ අන්දමට තරුණ තරුණියන්ගේ උන්නතිය උදෙසා කාර්යභාරය ඉටු කරනවා. විරැකියාවට විසඳුම් ලබාදෙනවා. රටේ ධනය වැඩිවීම වගේම ඔබලා ධනවතුන්වීමත් සිදුවිය යුතුයි. ඒ අරමුණු ඉටුකර දෙන්න ක්‍රියාත්මක වී තිබෙනවා. ගමට වැඩ කරන්න. ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබන වසරේ මීටත් වඩා ලබා දෙනවා. ඇමැතිවරයා ඇතුළු නිලධාරීන්ට තරුණ සේවා සභාවේ සභාපති ඇතුළු නිලධාරීන්ටත් ප්‍රශංසාව පුද කරනවා. ඔවුන් තරුණ පිරිස් මේ රටේ සංවර්ධනය සඳහා ඉතා හොඳින් දායක කරගෙන තිබෙනවා.

තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා- අඩු පොලියට එහෙම නැතිනම් පොලී රහිත ණය මේ තරුණ තරුණියන්ට ලබාදීමේ දී එම ණය ඉල්ලුම්පත් පිරික්සීමේ කමිටුවට යෞවන කටයුතු අමාත්‍යාංශයේ හෝ තරුණ සේවා සභාවේ නිලධාරියකු පත් කරන ලෙසට අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ස්වයං රැකියා සඳහා ව්‍යාපාර ඇරැඹීමට එවිට ඔවුන්ට ණය මුදල් පහසුවෙන්ම බැංකුවෙන් ලබාගැනීමට පුළුවනි. එසේ නැති වුණොත් තරුණ පිරිස්වලට ණය ලබා ගැනීමට දුෂ්කරතාවක් ඇති වෙයි. මේ තරුණ පිරිස් ව්‍යාපාරික අංශයේ ඉහළම තැනකට ගෙන ඒමට ක්‍රියා කරනවා. ඔවුන්ට ආර්ථිකයේ ඉදිරියට යාහැකි වැඩසටහන් සකසනවා. ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ණය මුදල් ලබාගෙන මාස අටෙන් ජයගත් උදවිය සිටින බව අගමැතිවරයා ප්‍රදර්ශනයේ දී දැනගත්තා.

ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ශක්තිමත් ව්‍යාපාරිකයන් බවට මේ තරුණයන් පත්කිරීම අරමුණයි. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු වැඩසටහන්වලට මේ පිරිස් යොදවනවා.

වසර තිහකට පමණ පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තරුණ සේවා සභාව ස්ථාපිත කළා. තරුණ කටයුතු ඇමැති ලෙස එතුමා කටයුතු කළා. අදටත් අගමැතිවරයාගේ අදහස් තරුණයි. හොඳ වැඩකටයුතු ඉදිරියට ගෙන යමු. යොවුන්පුරය, ගමට කෝටියක් ඵලදායී වැඩ කටයුතු. ඒවා ඉදිරියටම ගෙන යා යුතුයි. අලුතින් වැඩ කටයුතු අරඹමු. අඩුපාඩු තිබෙන වැඩ කටයුතු ඇත්නම් ඒවායේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු. තරුණ පරපුර සමඟ සේවය කරමින් රට ගොඩනැංවීමට හැකිවීම සතුටට කරුණක්.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා- අර්ථයක් නැති දේ මිලට විකිණෙයි. එසේ නැතිව වටිනාකම් ඇති පිරිස් බිහි කළා. රියැලිටි ‘පවුඩර්’ වැඩසටහන් අභිභවා යමින් ‘දහඩිය’ රියැලිටි තුළින් සනිටුහන් කිරීමට හැකි වුණා. දශක කීපයකට පෙර ආයුධ අතට ගත්තවුන් නිසා කැරලි ඇති වුණා. එය වෙනස් කරමින් තරුණ පිරිස්වලට වටිනාකම් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙසින් හසරැලි නැඟුණා.

විශ්වාසය තරම් පරම ඥාතියකු නැති බව බුදුන් වහන්සේ ‍දේශනා කළා. අගමැතිවරයා තරුණ පිරිස් විශ්වාස කරමින් ලොකු මුදලක් දුන්නා. ගමට අවශ්‍ය දේ ඉටුකර දෙමින් අගමැතිවරයාගේ විශ්වාසය තරුණ පිරිස් රැක ගත්තා. විශ්වාසය ඔප්පු කර පෙන්නුවා. දුප්පත්කම රජ කරන්න ඉඩ නොදී සංවර්ධනයට යා යුතුයි. තරුණ පිරිස් අනාගතය නිර්මාණය කරනවා. වසර කිහිපයකට පෙරත් රනිල් අගමැතිවරයා කෙරෙහි විශ්වාසය තහවුරු කළා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කළ හැකි රාජ්‍ය නායකයායි. කුමාරවරුන්ට මාලිගා හදන්න මුදල් නොදුන් රනිල් අගමැතිවරයා ගම හදන්න තරුණයන්ට මුදල් දුන්නා. ගමේ පාලම, පාර, බෝක්කුව ඇතුළු යටිතල පහසුකම් තරුණ නායකත්වයෙන් ප්‍රජාවගේ සහායෙන් ගමට ඉටුකර දෙනවා. ලොකුම ධනය සතුට බවත් බුදුන් වහන්සේ වදාළා. එහි දී එම සතුටේ උරුමය මා ලබා ඇත. මේ තරුණ පිරිස් ගම රට වෙනුවෙන් සිදුකරන කැපවීම මගේ එකම සතුටයි.

ප්‍රථම වටයේ යොවුන් සමිතිවලට අගමැතිවරයා ලක්ෂ එක්දහස් පන්සීයක් ලබාදුන්නා. එය රුපියල් ලක්ෂ හාරදහස් පන්සීයක් බවට තරුණ පිරිස් පත්කර ගත්තා. දෙවැනි වටයේ ලක්ෂ හාරදහස් පන්සීයක් දුන්නා. එය ලක්ෂ දහදාහක් දොළොස්දාහක් බවට පත්කර ගන්නට තරුණ නායක නායිකාවෝ සමත් වුණා. මෙයාකාරයට ලක්ෂ ගණන් එක්කර ගත් බැංකුවක් ති‍බේද?

මේසා විශාල මුදල් ප්‍රමාණයක් එක්කරගත හැකි වූයේ යොවුන් සමිති තරුණ සේවා සභාව සහ යොවුන් පාර්ලිමේන්තුවට පමණයි.

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ෂෙහාන් කන්නන්ගර මහතා- දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා සංවිධාන ආයතනය වන යෞවන සමාජ ව්‍යාපාරයේ බීජ රෝපණය වැලිඅංගේ මහතා ගමට වැඩසටහන් රැගෙන යාමේ දී ස්වාධීන රූපවාහිනි සේවය දැවැන්ත සහායක් ලබා දුන්නා.

තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, රැකියා ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර, ස්වාධීන රූපවාහිනි සේවාවේ සභාපති සමන් ආතාවුදහෙට්ටි, අධ්‍යක්ෂ චන්දන තිලකරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පුහුණු) සුනිල් කරුණාරත්න, අධ්‍යක්ෂ (පාලන) රෝහණ සේනාරත්න, අධ්‍යක්ෂ (මුදල්) තුෂාර සම්පත් පෙරේරා, අධ්‍යක්ෂ (සංවර්ධන) ජගත් අධිකාරි මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න