සංහිඳියාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ආණ්ඩුව ගත්තා | දිනමිණ

සංහිඳියාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ආණ්ඩුව ගත්තා

“රට තුළ සාමය හා සංහිඳියාව නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජයක් ලෙස ගෙන තිබෙන බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහජීවනය හා සංවර්ධනය පිළිබඳ මෙරට උපදේශිකාවට ඇමැතිවරයා මෙසේ පවසා සිටියි.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහජීවනය හා සංවර්ධනය පිළිබඳ මෙරට උපදේශක ගීතා සහර්වාල් මහත්මිය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී පසුගියදා (06 දා) මුණ ගැසුණි. පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග හා සහජීවනය ස්ථාපිත කෙරුමට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් විමසීම මෙම හමුවේ අරමුණු විණි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඇතිවූ හදිසි තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය පියවර ඒ මොහොතේ තම රජය ගත් බවයි. එමෙන්ම හානියට පත් ව්‍යාපාර හා පල්ලි යථාතත්ත්වයට පත්කිරීම හා වන්දි ප්‍රදානය කිරීමේ කටයුතු වහ වහා ක්‍රියාත්මක කළ අතර අදාළ කලහකාරී තත්ත්වයන් ප්‍රදේශයෙන් පිටතට නොයන පරිද්දෙන් ආරක්ෂක විධිවිධාන යෙදීමට පියවර ගත් බවද පැවසීය. මෙම සිද්ධීන්වලට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගීතා සහර්වාල් මහත්මිය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා ජාති, ආගම් භේද නොසලකා සිද්ධියට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත සිදුකළ බව පැවසීය. රට තුළ සාමය හා සංහිඳියාව නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රජයක් ලෙස ගෙන තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා මෙම සිදුවීම මෙන්ම අම්පාරේ සිදුවීම් සම්බන්ධයෙන්ද අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වෙන අතර මේ පිළිබඳ ගැඹුරු විමසීමක් රජය විසින් සිදුකිරීමට නියමිත බවද පැහැදිලි කළේය.

මෙවැනි සිදුවීම් පාලනය කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා රට තුළ සිටින ජාතිවාදී අදහස් දරන්නන් සම්න්ධයෙන් තම අමාත්‍යාංශය අධ්‍යයනය කරන අතර එවැනි පිරිස් නීතිය හමුවට පැමිණවීමේ කාර්ය වහ වහා සිදුකරන බවද පැවසීය. එසේම මෙවැනි සිදුවීම් අනාගතයේ සිදුනොවීම උදෙසා සාම කමිටු නිර්මාණය කිරීමේ කටයුත්තකට අවතීර්ණ වීමට තම රජය බලාපොරොත්තු වන බවද පැවසීය. වසර 30ක් පමණ වූ සිවිල් යුද්ධයකින් පීඩා විඳි ශ්‍රී ලාංකීය ජාතියට තවත් එවැනි තත්ත්වයකට මුහුණදීමේ උවමනාවක් නැත්තාසේම එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට තම රජය කටයුතු කරන බවද වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සමගින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා එක්ව සිටියේය.

නව අදහස දක්වන්න