සෞදියේ කිරුළ හිමි කුමරු ප්‍රංශ චාරිකාවක | දිනමිණ

සෞදියේ කිරුළ හිමි කුමරු ප්‍රංශ චාරිකාවක

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඇමෙරිකානු සංචාරය නිම කරමින් පැරීසියට පැමිණ ඇති අතර, ඔහු ඇමෙරිකාවෙන් පිට වීමට පෙර එරට හිටපු ජනාධිපතිවරයකු වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ සුව දුක් විමසීමට ඔහුගේ නිවසට යාමට ද අමතක නොකළේය.

තවද ඇමෙරිකානු සංචාරය අතරතුර සල්මාන් කුමරු සිලිකන් වැලි තාක්ෂණික සමාගමේ විධායකයින් මුණ ගැසුණ අවස්ථාවේ ගූගල් සම නිර්මාතෘ සර්ගෙයි බ්‍රින්, මැජික් ලීප් ප්‍රධාන විධායක නිලධාරී රොනී ඇබොවිට්ස් සහ වර්ජින් නිර්මාතෘ රිචර්ඩ් බ්‍රැන්සන් මුණ ගැසිණි. මෙම සමාගම් ප්‍රධානීන් සමඟ ඉතා සාර්ථක හා ඵලදායි සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබුණ බව සල්මාන් කුමරු එම හමුවීමෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන් සෞදි අරාබියේ තරුණ ප්‍රජාවට එම සමාගම් මුලස්ථාන වල පුහුණුව ලබා දීමේ අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. මෙහිදී පරිගණක අධ්‍යාපනය, කෘතිම බුද්ධිය සහ ගූගල් ක්ලවුඩ් පරිගණක තාක්ෂණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.එම සමාගම් වල නවතම ව්‍යාපෘති පිළිබඳව දැනුවත් වීම සඳහා ඔහු ස්ටීව් ජොබ්ස් රඟහලේ පැවැති සැසියකට ද සහභාගි විය.

නවීන තාක්ෂණයට ගැලපෙන අයුරින් අනිකුත් රටවල් සමඟ තරග කිරීමට හැකි වන ආකාරයෙන් සෞදි පරිගණක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය කරන ගිවිසුම් කීපයකටද මොහොමද් බින් සල්මාන් කුමරු අත්සන් තබා ඇති බව වාර්තා වේ.

 

නව අදහස දක්වන්න