බෙදුණු තීන්දුවක අර්බුදය | දිනමිණ

බෙදුණු තීන්දුවක අර්බුදය

වසන්ත ප්‍රිය රාමනායක

රටේ ඉදිරි ගමනට බාධකයක්ව පවතින්නේ දේශපාලන නොසන්සුන්තාවක් නම් දේශපාලනය කරන අය එය විසඳාගත යුතුය. එහි මූලික හා ප්‍රධානතම වගකීම ආණ්ඩුවට පැවරෙන අතර විපක්ෂය ද වගකීම් විරහිතව සිටිය නොහැකිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන් අමතමින් මේ රටේ දේශපාලනය කරන අයට එම වගකීම යළි මතක්කර දුන්නා වාගේය.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවල සිට අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව දක්වාම යම් දේශපාලන නොසන්සුන්බවක් රට තුළ දක්නට ලැබුණි. මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ අතර වාරයේ කීප විටක්ම සඳහන් කළේ මෙම දේශපාලන නොසන්සුන්බව රටේ ආර්ථිකයේ වර්ධනයට හා ඉදිරි ගමනට බලපාන බවයි. ඔහු නොකියා රට පාලනය කරන අයට හා විපක්ෂය නියෝජනය කරන සියල්ලට පොදුවේ කීවේ මේ තත්ත්වය වෙනස් කර ගන්නා ලෙසයි.

පාලනය කිරීමට මෙන්ම පාලකයින් විවේචනය කිරීමේ දේශපාලනයක් උදෙසා ප්‍රථමයෙන්ම රටක් පැවතිය යුතුය. රටේ ඉදිරි ගමනට බාධකයක්ව පවතින්නේ දේශපාලන නොසන්සුන්තාවක් නම් දේශපාලනය කරන අය එය විසඳාගත යුතුය. එහි මූලික හා ප්‍රධානතම වගකීම ආණ්ඩුවට පැවරෙන අතර විපක්ෂය ද වගකීම් විරහිතව සිටිය නොහැකිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන් අමතමින් මේ රටේ දේශපාලනය කරන අයට එම වගකීම යළි මතක්කර දුන්නා වාගේය.

‘‘මේ රටේ ජනාධිපතිවරයා ලෙස තමන් මුලින්ම සිතිය යුත්තේ රට ගැනය. ජනතාව ගැන. රට අස්ථාවරත්වයකින් මුදාගෙන සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම තම යුතුකම.”

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙසින් මාධ්‍ය ප්‍රධානීන් මඟින් රටම දැනුම්වත් කළේ අද දවසේ මේ රටේ ආණ්ඩු කරන හා නොකරන දේශපාලනඥයින් සතු වගකීම බව පැහැදිලිය.

දේශපාලනයේ වගකීම්

මේනිසා පාර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියා හා එහි හැසිරීම ව්‍යවස්ථාදායකය සතු වගකීමකි. එහෙත් විධායකය සතු වගකීම ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් හසුරුවා ගනිමින් රට පෙරට තබා කටයුතු කිරීමය. මෙහිදී රට හා ජනතාව ප්‍රධානය. දේශපාලනඥයින් හැසිරිය යුත්තේ හා සියල්ල ඉටු කළ යුතු වන්නේ රට වෙනුවෙනි. ඒ සඳහා දීමනා හා වරප්‍රසාද ගොන්නක් ජනතාවගේ මුදලින් ඔවුනට ලැබේ. මේ සන්දර්භය තුළ දේශපාලන පක්ෂයක් හා එහි තීන්දු තීරණ ඇත්තේ රට හා ජනතාවට පහළිනි. ජනාධිපතිවරයා නැවත මතක් කර දෙන්නේ මෙම වගකීම්සහගත කරුණ බව පැහැදිලිය.

මෙහිදී පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ආණ්ඩුවේ ඇමතිවරු හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උප ඇමතිවරුන්ගේ තීරණය දේශපාලනිකව ගනු ලැබූවකි. එසේම එම තීරණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එම ඇමතිවරු නැවත ඇමති මණ්ඩලයට එක්කර නොගන්නා ලෙස ඉල්ලා සිටීම තවත් ඊට ප්‍රතිවිරුද්ධ පාක්ෂික (විශ්වාසභංග යෝජනාවට එරෙහි වූ එක්සත් ජාතික පෙරමුණේ) ඉල්ලීමකි.

අනෙක් පැත්තෙන් විශ්වාසභංගයට පක්ෂවූ ආණ්ඩුව නියෝජනය කරනු ලබන කණ්ඩායම ඊට විරුද්ධ වූ කණ්ඩායම දරන දේශපාලන මතවාදයට එරෙහිව රටේ දේශපාලනය කරන පිරිසකි. එම පිරිස් අයත් වන්නේ එක්සත් ජාතික පෙරමුණට විකල්ප වූ ප්‍රධාන දේශපාලන ධාරාව වන එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි.

මධ්‍යස්ථ පිළිවෙතක්

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව පවතින්නේ මේ දෙපිරිසේම එකතුවෙනි. ඊට හේතුව මේ එක් පාර්ශ්වයකටවත් තනියෙන් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි මැතිවරණ ප්‍රතිඵලයක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණ නිසාය. මේනිසා රාජ්‍ය නායකයා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට හා ජනතාව වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. එය දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත බව නැවත නැවත කිසිවකුට මතක්කර දිය යුතු නැත.

මෙහිදී අගමැතිවරයා නියෝජනය කරන්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ එක් පාර්ශ්වයකි. එනම් එක්සත් ජාතික පෙරමුණයි. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වන්නේ අගමැතිවරයාට එරෙහිවය. නැතිනම් එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් ද කටයුතු කරන අගමැතිවරයාට විරුද්ධවය. මේ සන්දර්භය තුළ ජනාධිපතිවරයා සිටින්නේ මේ සියල්ලටම ඉහළින්ය. ඔහුට වෙනම ජනවරමක් ඇත. ඒ ජනවරම අනුව එතුමා කෙළින්ම වගකියන්නේ මේ රටේ ජනතාවටයි. ඒ නිසා රට හා ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු හා ඉටු කිරීමට පොරොන්දු වූ කාරණා රැසක් එතුමාට තිබේ. ඔහු ඒ සඳහා ආණ්ඩුවක් පවත්වාගෙන යායුතුය. එක් කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා නොදුන් දේශපාලන පරිසරයක ජනාධිපතිවරයා සතුවන වගකීම තවත් වැඩිවේ. සියල්ලට ප්‍රථම රට හා ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට තමාට සිදුවී තිබෙන බව ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් අමතා සඳහන් කළේ මෙවන් පසුබිමකය.

එසේම ජනාධිපතිවරයාට ද පක්ෂයක් ඇත. එතුමා ද පක්ෂ නායකයෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ ජනාධිපතිවරයායි. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වන්නේ එතුමාගේ සම්මුතිවාදී රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන එක්සත් ජාතික පෙරමුණේ නායකයාට එරෙහිව වන නිසා විශේෂයෙන්ම මෙහිදී මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයාට සිදුවේ. එම මධ්‍යස්ථ පිළිවෙත ජනාධිපතිධුරයට සාපේක්ෂව සිදුවන්නකි. රටේ ජනාධිපතිවරයා ලෙසින් පමණක් නොව තමන් නායකත්වය දරන පක්ෂයට ප්‍රතිවිරුද්ධ මෙන්ම තම නායකත්වයෙන් යුත් රජය අනෙක් ප්‍රධාන පාර්ශ්වකරුවාට එරෙහිව මෙම යෝජනාව ඉදිරිපත් වන නිසාම ජනාධිපතිවරයා මෙහිදී මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ බව පැහැදිලිය. මෙහිදී ඔහු ඒ බව තම කණ්ඩායමට දැනුම් දුන් බවත් කණ්ඩායම එක්වී තීරණයක් ගැනීමට ඉඩ දුන් බවත්, මේ වන විට කාටත් රහසක් නොවේ.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බෙදුණු තීන්දුවකට එළැඹුණි. එම සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා මෙහිදී වගකීම්සහගතව කටයුතු කළාද යන්න ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් මෙවන් තීරණාත්මක යෝජනාවකදී විශේෂයෙන්ම තමන් නියෝජනය කරන ආණ්ඩුවේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවකදී වගකිවයුතු දේශපාලන පක්ෂයක් මෙවන් බෙදුණු තීන්දුවකට එළැඹෙන්නේ නැත. විශේෂයෙන්ම පක්ෂයේ නායකයා වන ජනාධිපතිවරයා එවන් තීන්දුවකට නොයන මෙන් උපදෙස් දී තිබිය දී මෙන්ම, එතුමාට මේ මොහොතේ මධ්‍යස්ථව සිටීමට සිදුවී තිබෙන වගකීම් සහගත දේශපාලන පරිසරයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ දී තීන්දු දෙකක් ගැනීම වැරදිය. සාමාන්‍යයෙන් වගකිවයුතු දේශපාලන පක්ෂයකට එසේ කළ නොහැකිය. මෙය ජනාධිපතිවරයා ද අපහසුතාවයකට පත්කිරීමකි. ජනාධිපතිවරයාට මෙහිදී පැත්තක් ගැනීමට නොහැකි බව දැන දැනම එතුමා නායකත්වය දෙන පක්ෂය මෙවන් බෙදුණු තීන්දුවකට යෑම එතුමා සමඟ මුළු පක්ෂයම අර්බුදයකට යැවීමකි. ඊට ලේකම්වරු මෙන්ම ශ්‍රීලනිප ප්‍රධානීන් වගකිව යුතුය.

වත්මන් අර්බුදය

මේ සියල්ල සිදුවූයේ එම පක්ෂයේ ජනාධිපතිවරයා හැරුණු විට ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම නායකයා වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තීන්දුවක් ලෙසින් අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලීමක් ද කර තිබියදීය. එය පක්ෂයේ තීරණයක් නම් පක්ෂයේ සියලුදෙනාගේම වගකීම එම තීන්දුව හා බැඳී පවතී. අගමැතිවරයා ඉවත්වීම ප්‍රතික්ෂේප කළ බව පැහැදිලිය. එසේ ප්‍රතික්ෂේප කර එතුමා විශ්වාසභංගයට මුහුණ දෙන්නේ නම් එම පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බෙදුණු තීන්දුවට යෑමට දේශපාලනික වශයෙන් නම් අවකාශයක් නොමැත.

විශ්වාසභංග යෝජනාව අගමැතිවරයා ජයගැනීමෙන් පසුව ද නැවත දේශපාලන අර්බුදයක් හටගෙන තිබෙන්නේ මේ බෙදුණු තීන්දුවේ අර්බුදය කරනකොටගෙනය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අය අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරුන් නැවත ඇමතිකම්වල සිටිනවාට අකමැතියි. එසේම ඒ අය ඡන්දය දීමෙන් වැළකී සිටින අය ඇමතිකම්වල සිටිනවාට කැමතිය.

එහෙත් එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවැසි බහුතරය නොමැත. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොලැබෙන්නේ නම් ද්‍රවිඩ සන්ධානයෙන් ලබාගැනීමට සිදුවේ. එවිට ආණ්ඩුව යූ.ඇන්.පී., ටී.එන්.ඒ. ආණ්ඩුවක් බවට පත්වේ. ඊට කැමති අය මෙන්ම අකමැති අය යන දෙපිරිසම එක්සත් ජාතික පෙරමුණේ සිටිය හැකිය. අවසානයේ එවන් ආණ්ඩුවකින් වුවද වත්මන් දේශපාලන අර්බුදයට විසඳුමක් නොලැබෙනු ඇත.

නව අදහස දක්වන්න