අවුරුද්දට අලුත් කැබිනෙට්ටුවක් | දිනමිණ

අවුරුද්දට අලුත් කැබිනෙට්ටුවක්

බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි,

එක නායකයෙක්, එක වැඩපිළිවෙළක් සහ එක රජයක්' තේමාව යටතේ ඉතා ශක්තිමත්ව යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එසේ වුවත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අලුතින් ම තෝරා පත් කර ගන්නා කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීම ස්ථිර බවද ඇමැතිවරයා සඳහන් කරයි. ‍අලුතින් පත් කෙරෙන කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ විශාල වෙනසක් සිදුනොවූවද, ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් හි නව වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි ද ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් හයදෙනා පිළිබඳ තීන්දුව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ඇති බවත්, යම් ලෙසකින් ඔවුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වන්නේ නම් ඒ වෙනුවට පත් කෙරෙන නව ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ම පත් ‍වනු ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

වත්මන් නියෝජ්‍ය කථානායකවරයා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම එම තනතුරේ ස්වාධීනත්වයට හානියක් බැවින් එම තනතුරට වෙනත් අයකු පත් කිරීමට කටයුතු කරන්නේදැයි මාධ්‍යවේදියකු මෙහිදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි. 

නව අදහස දක්වන්න