ව්‍යාපාර ඇරැඹීමට ආයෝජකයන්ට උදව් | දිනමිණ

ව්‍යාපාර ඇරැඹීමට ආයෝජකයන්ට උදව්

පහසුවෙන් ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන්ට උදව් දෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ අරමුණින් රජය නව වැඩපිළිවෙළ මාලාවක් ක්‍රියාවට නංවා ඇත.

ජනපති අගමැති උපදෙස් මත උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ මෙහෙයවීම මත මේ උපායමාර්ගික වැඩපිළිවෙළ මාලාව එකින් එක මේ වනවිට ක්‍රියාත්මක කැරෙමින් පවතින බව එම අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

අප රටට පැමිණෙන දෙස් විදෙස් ආයෝජකයින්ට අවශ්‍ය සියලු පහසුකම් එකම වහළක් යටින් ලබාදීම තවත් පුළුල් කොට “එකම කවුළුවකින්” ලබාදීම මේ යටතේ ඇරැඹී ඇතැයිද ලේකම්තුමිය කීවාය.

නව ව්‍යාපාර ලියාපදිංචිය, බලපත්‍ර ලබාගැනීම, මාර්ග, ජලය, විදුලිය වැනි යටිතල පහසුකම් කඩිනමින් ලබාගැනීමට පහසුකම් සැපයීම, ඉඩම් ඔප්පු, පැවැරුම් සහතික කඩිනමින් ලබාදීම, රේගු කටයුතු, ගුවන්තොටුපොළ හා වරාය කටයුතු කඩිනම් කිරීම ඇතුළු සේවා ලබාදීම අරඹයා රජය නව කාර්ය සාධක බළකායන් 06 ක් ස්ථාපිත කෙළේය.

මේ අන්දමට ස්ථාපිත කාර්ය සාධක බළකායන් මේ වනවිට තම වගකීම් හා කාර්ය මනාව හඳුනාගෙන ආයෝජකයින්ට හිතකර ලෙස සේවා ලබාදීමට පෙරට පැමිණ ඇතැයිද චාන්දනී විජේවර්ධන මහත්මිය කීවාය.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන අමාත්‍යාංශ රාශියක්ම තම අමාත්‍යාංශය හා සම්බන්ධ වෙමින් නව වැඩපිළිවෙළ වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැපවී ඇතැයිද ඇය කීවාය.

මේ අන්දමට සියලුදෙනාගේම උනන්දුව, කැපවීම හා මඟපෙන්වීම මත ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ තුළින් ශ්‍රී ලංකාව නව ව්‍යාපාර පහසුවෙන් ඇරඹීමට උදව් වන රටවල් අතර පෙරට පැමිණ ඇතැයි ලෝක බැංකුව පවා ප්‍රකාශ කොට ඇත.

එය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික දියුණුවට, සංවර්ධනයට ඉතාම අත්‍යවශ්‍ය වූ කරුණක් බව ද ලෝක බැංකුව පවසයි.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න