A-Z දන්න කෙනා අභියෝගවලට බය නෑ | දිනමිණ

A-Z දන්න කෙනා අභියෝගවලට බය නෑ

OKTAN සභාපති, කළමනාකර අධ්‍යක්ෂ ක්ෂ්මන් විතානගේ

වෙලාව රාත්‍රී 12ට ආසන්න වෙමින් ති‍‍බේ. ලක්ෂ්මන්ගේ කාර්යයන් අතර වඩාත්ම දුෂ්කර කර්තව්‍ය ඇරැඹෙන්නේ දැන්ය. ඒ උදෑසන සිට හෝටලයේ මස් මාංශ කපා ඉවතලන අතුනුබහන් පල්වී ගඳ ගසන වළ පිරිසිදු කිරීමයි. දවසේ අවසන් රාජකාරිය එය වුවද තවත් දහසකුත් දේ කිරීමට ඔහු වෙත පැවැරී ති‍බේ. එහෙත් මේ අසීරු කටයුතු ඔහු ඉටු කරන්නේ වඩාත් සැහැල්ලුවෙනි. හිතට වදයක් නොගෙන වැඩක් නිම කිරීම ලක්ෂ්මන්ගේ පි‍ළිවෙතයි. එහෙත් ඔහු ඒ දුෂ්කර ජීවිතය තම ලැබීම ලෙස සලකා ඉවසුවේ නැත. පිරිසිදු කරන සෑම දිනකම සිතට ගන්නේ එකම දෙයකි. අද මෙය හැකි පමණින් හොඳින් ඉටු කරමි. එහෙත් හෝටලයේ වළං පිගන් සෝදන රාජකාරිය වෙනුවට එහිම වෙනත් රුකියාවක් සොයා ගැනීම සඳහා කැපවෙමි. ලක්ෂ්මන් දෛවය දෙන දේ එලෙසම භාරගෙන සිටීමට කැමැති වූවකු නොවේ. ‍ඔහු තමා ප්‍රාර්ථනා කරන ජීවිතය ගොඩනඟා ගැනීම වෙනුවෙන් අභියෝගයන්ට මුහුණ ‍දුන්නෙකි. සැබවින් එය හඹාගොස් අත්පත් කරගත් තෘප්තිමත් මිනිසෙකි.

ඔක්ටාන් යනු ජාතියට අභිමානයක් ගෙන දෙන සන්නාමයකි. ඔක්ටාන් සෝලා පැනල් මෙරට අලෙවි වන ප්‍රමුඛතම සෝලා පැනල් සන්නාමයයි. එමෙන්ම ඔක්ටාන් එල්.ඊ.ඩී බල්බ මෙරට වෙළෙඳ ‍පොළෙහි අලෙවි වන ප්‍රමිතියෙන් ඉහළ බල්බ අතරින් ප්‍රමුඛත්වය දිනාගනී. ඒ සන්නාමයේ හිමිකරුවා වන්නේ අපගේ කතානායක ලක්ෂ්මන් විතානච්චියි.

 

Q- ඔබ ව්‍යාපාරික පවුලක උරුමයක් ඇති කෙනෙක්ද?

කොහෙත්ම නෑ. මගේ නැන්දලානම් අත්යන්ත්‍ර සාරි නිෂ්පාදන ව්‍යාපාරයේ නියැළී සිටි අය. නමුත් ව්‍යාපාර පිළිබඳ මට උරුමයක් හෝ පවුලේ ආභාෂයක් තිබුණේ නෑ. මට තිබුණේ මුදල් උපයීමේ වුවමනාව. ඒ ඔස්සේ කටයුතු කිරී‍ම නිසා මට ව්‍යාපාරයක් ගොඩනැඟීමට හැකියාව ලැබුණා.

Q- ඔබගේ අධ්‍යාපන කටයුතු සිදු වූයේ කොයි ආකාරයෙන්ද?

මගේ ගම මාතර, ඇල්පිටිය, සාමාන්‍ය පෙළ හැදෑරුවේ ධර්මපාල කනිෂ්ඨයේ. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වෙලා, උසස් පෙළ කිරීමට තර්ස්ටන් ගියා මගේ විෂයන් වුණේ ගණිත අංශය. උසස් පෙළ ප්‍රතිඵලය අන්තිම සවුත්තුයි.‍‍‍‍‍ ෆේල් විය හැකි උපරිම ආකාරයෙන් ෆේල් වෙලා තිබුණා. මම ලොකුවට යාළුවන් සමඟ පිස්සු නටපු කෙනෙක් හෝ පාඩම් මඟ හැරිය කෙනෙක් නෙවෙයි. මට වු‍ණේ මුල් මාස හයේ දී පාඩම් කීපයක් මඟ ඇරීමයි. ඒ නිසාම මට ඒ විෂයන් නියම විදිහට ග්‍රහණය කර ගන්න බැරි වෙන්න ඇතැයි සිතනවා.

ඉන් පස්සේයි මම තරු පහේ හෝටලයේ වළන් සෝදන රැකියාවට යන්න හිතුවේ. ඒ අවස්ථාව ලැබුණේත් මගේ යාළුවකුගේ මාර්ගයෙන්.

Q- සොඳුරුතම යෞවුන්විය ගත කරමින් සිටි ඔබට එවැනි රැකියාවක් තෝරා ගැනීමේ දී චකිතයක් ඇති වූයේ නැතිද?

ඒ රැකියාව ලබාගත්තේත් මගේ ඥාති සොහොයුරකුගේ මාර්ගයෙන්. මට පැ‍වරෙන කාර්යය පැහැදිළි කිරීමේ දී ඔහු පසු වුණේ තරමක චකිතයකින්. මම මේ කටයුතු නොකර අතර මඟ නවතා දමාවි කියලයි ඔහු සිතා තිබුණේ. තරු පහේ හෝටලයක උයන වලං, කුස්සි අස් කිරීම, භාජන පිරිසිදු කිරීම කුණු බැහැර කිරීම මේ සෑම කටයුත්තක්ම ඉතාමත් දුෂ්කර වූත්, ප්‍රිය උපදවන කටයුතු නොවුණත් මම කාර්යක්ෂමව කටයුතු කළා. ඒත් මගේ වැඩි කැමැත්ත තිබුණේ ආහාර පිසීමේ කටයුතු කෙරෙහියි. මෙහෙම වැඩ කරන අතරේ වෙනත් කටයුතුවල නිරතවී සිටින අය කුස්සියේ කටයුතු සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ඇරඹුණා. ඒ අනුව මම හෝටලයේ ඇති ඉන්දියනු අවන්හලේ කුස්සියේ පුහුණු කිරීම් සඳහා එක් වුණා. එසේ වීමට හේතු වුණේ ඉන්දියානු අවන්හලේ එවකට සේවය කළ කෙනකු ටික කාලෙකින් සේවයෙන් ඉවත්වීමට සූදානම් බවට දැන ගැනීමට ලැබුණ නිසයි. උදේ 8ට වැඩ ආරම්භ කරන මම සවස 05 වන තුරු ඉඳුල් සේදීම්වල නිරතවීමෙන් අනතුරුව හවස 05න් පසුව රාත්‍රී 10 වන තුරු අවන්හලේ අත්උදවුකරුවකු වශයෙන් සේවය කළා. එසේ කිසිදු වැටුපක් නොලබා සේවය කළ කාලය වසරක් පමණ, දිනක් අපගේ හිතවතා කිසිදු දැනුම් දීමකින් තොරවම සේවයෙන් ඉවත්වී යන බව දැන ගැනීමට ලැබුණා. එදින පරිපාලනය සූදානම් වූයේ අවන්හල වසා දැමීමටයි. ඒ බව දැනගත් මම නොපැමිණි කෙනා විසින් මෙතෙක් ඉටු කළ කාර්යයන් ඉටුකර දිය හැකි බව පැවැසුවා. එදින සිට මම වැඩ කළේ කුස්සියේ ප්‍රධාන සූපවේදියාට සහාය දක්වමින්.

Q- ඔබ මිලදී ගත් පළමු ‍ඔරලෝසුව සුවිශේෂී සැමරුමක් බව සඳහන් කළා.?

කුස්සියේ වැඩ කරන අතරේ කුස්සියේ කටයුතු සඳහා විවිධ ද්‍රව්‍ය ගෙනවිත් ඉවත දමන ප්ලාස්ටික් කෑන් ටික මම එකතු කර ගන්නවා. සැලකිය යුතු ප්‍රමාණයක් එකතුවීමෙන් පසුව ත්‍රිරෝද රථයකින් පිටකොටුවට ගෙනගොස් විකුණනවා. එසේ විකුණූ සල්ලිවලින් 3500ක‍‍ට ඔරලෝසුවක් මිලදී ගත්තේ විමලධර්ම සාප්පුවෙන්. ඒ නිසා එය සදාතනික සිහිවටනයක්.

Q- තරුපහේ හෝටලයක සූපවේදී සහායකයකු ලෙස කළ රැකියාව තෘප්තිමත් නැතිද?

මම එතන වැඩ ටික හොඳට අල්ල ගත්තා. නමුත් මගේ හිතේ ති‍බුණේ ඉක්මනින් මුදල් ඉපැයීම. අපිත් සමඟ සිට් කෙනෙක් මැද‍පෙරදිග රැකියාවකට ගියා. එයා මටත් එන්න කිවුවා. මම එකපයින් යන්න ලෑස්ති වුණා. ඒ බව දැනගෙන මගේ ප්‍රධානියා මට කතා කරලා කීවා එයාගේ පඩියෙන් මාසෙට ගාණක් මට දෙන්නම් ඉන්න කියලා. නමුත් මම ඒකට කැමති වුණේ නෑ. ඔහු කීවේ මට මේ කේෂ්ත්‍රයේ අනාගතය හොඳින් හදාගන්න පුළුවන් ඉන්න කියලයි. නමුත් මම ඒ‍ වන විටත් යන්න තීරණය කර අවසන් මම යන්නේ මොන රැකියාවටද? මගේ වැටුප කීයද? නවාතැන් කොහොමද ? පැය කීයක් සේවය කළ යුතුද ? ඒ කිසිවක් නොදැන මම නව රැකියාව සඳහා විදෙස් ගතවුණා.

Q- ඔබ මැදපෙරදිග හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක ද නිරත වුණේ ?

ඔව් මා දැනගෙන සිටියේ ඒ කටයුත්තනේ. එහි දී මුදල් ඉපයීමට රෑ දවල් නැතිව සේවය කිරීමට සිදු වුණා. නමුත් එහිදීත් උනන්දුවෙන් වුවමනාවෙන් සේවය කිරීම නිසාම වටිනා කමක් ගොඩ නඟා ගැනීමට සමත් වුණා. ඇත්තෙන්ම ඉන්දියානුවන්, බංගලාදේශ ජාතිකයන් ‍අතර සේවය කරන විට ශ්‍රී ලංකික අපගේ සේවාව පිළිබඳ විශේෂ ප්‍රසාදයක් ඒ විදෙස් සේවායෝජකයන් තුළ පැවතුනා. වඩාත් කාර්යක්ෂමව හා වඩාත් විශ්වාසවන්තව ශ්‍රී ලංකිකයන් සේවය කරන බව ඔවුන්ගේ අදහසයි. ඒ නිසාම අප ලබාදුන් සේවයට වටිනාකමක් ලැබෙන පරිදි කටයුතු කිරීමට සමත් වුණා.

Q- සේවය කළ ස්ථානවලින් අවස්ථා 9කදීම ඔබ දොට්ට දමා තිබුණා.?

ඔව් මා යටතේ සිටි අයගේ ඉල්ලීම් හා අවශ්‍යතා වෙනුවෙන් කතා කිරීමට යාම නිසාම මට අවස්ථා 9කදීම රැකියාව අහිමි වුණා. නමුත් සුදුසුකම් තිබුණ නිසා නැවතත් රැකියාවක් සොයා ගත හැකි වුණා. ඒ අන්දමින් වසර 12ක් පමණ කාලයක් මැදපෙරදිග සේවය කළා.

Q- ඔබ ව්‍යවසායකයකු වීමේ පසුබිම කුමක්ද?

වසර 12 ක කාලයක් මමත් බිරිඳත් දෙදෙනාම මැදපෙරදිග සිටිම්න් ඉපැයූ දෙයින් කළේ ඔරුවල පිහිටි oktan ආයතනයේ ප්‍රධාන ‍ගොඩනැගිල්ල ඉදි කිරීමයි. පහත මාලයේ කඩ කාමර දෙකක් සහ ඉහත මාලයේ නිවාස දෙකක් ආකාරයෙනුයි. මෙය ගොඩනඟා ති‍බෙන්නේ එසේ ඉදි කළේ ස්ථාවර ආදායමක් ඇති කර ගැනීමේ අරමුණින්. වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති නම් කුලී පදනමට දීමෙන් හෝ ආදායමක් ලබා ගත හැකිය යන අදහසින්. මේ අතරේ බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කරන මගේ ඥති සොහොයුරකු සිටිනවා. ඔහු මාව උනන්දු කළා සෝලා පැනල් ‍අලෙවි කිරීම සඳහා. ලෝකයේ ඇති ඉල්ලුම පිළිබඳවත් එහි තාක්ෂණය පිළිබඳවත් මා දැනුවත් කළා. ඒ අනුව පිටරටින් සෝලා පැනල් ගෙන්වා අලෙවි කිරීමට මම යොමු වුණා. ඒ ව්‍යාපාරය සාර්ථක වුණා. එලෙස සාර්ථකවීමට හේතුව වූයේ ආනයන කාර්යයේ දී සිදුවන පාඩු අවම කිරීම සඳහා පිට රටින් අමුද්‍රව්‍ය ගෙන්වා මෙරටදී නැවත් සකස් කිරීම ඇරැඹු නිසයි. මේ නිසාම මෙරට විශාල පිරිසකට රැකියා ලබාදීමටත් හැකි වුණා. එමෙන්ම ඇතැම් අමුද්‍රව්‍ය මෙරටින් මිලදී ගැනීම නිසා විදෙස් ගතවන මුදලින් විශාල ප්‍රමාණයක් මෙරට වැය කිරීමට අවස්ථාව උදා වුණා. අපගේ අවශ්‍යතාව වූයේ ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පදනයක් හඳුන්වා දීමටයි සෝලා පැනල පිළිබඳව මෙරට අද්විතීය වෙළෙඳ නාමයක් ලෙස අද අපිට නමක් දිනා ගැනීමට හැකිවී තිබෙන්නේ අපභාවිත කරන අමුද්‍රව්‍ය, තාක්ෂණය හා උසස් ප්‍රමිතියෙන් යුතු නිමාව නිසයි. නිවාස, කර්මාන්ත ශාලා මෙන්ම ව්‍යාපාරික ස්ථාන ආදී නොයෙකුත් අවශ්‍යතා සඳහා අපි සෝලා අලෙවි කරනවා. මෙරට විදුලි ගැටලුවට සාර්ථකම පිළිතුර සෝලා බව මේ වන විට තමවුරුවී තිබෙනවා.

Q- oktan L.E.D බල්බය පිළිබඳත් සඳහන් කළොත්

මුලින්ම අපි බල්බ චීනයෙන් අරගෙන අලෙවි කළා. පසුව වැ‍ටහුනා ඒවායේ පවතින දුබලතාවන් පිළිබඳ. එවැනි දුර්වලතාවන්ගෙන් තොර නියම ප්‍රමිතියෙන් යුතු බල්බයක් නිර්මාණය කිරීමට අපි පර්යේෂණ සිදුකළා. ඒවා සාර්ථක වුණා. අවසානයේ අපි අපේම නිෂ්පාදනයක් වෙළෙඳ පොළට ඉදිරිපත් කළා. ඔක්ටාන් බල්බය සමඟ වෙළෙඳ ‍පොළෙහි ඇති ඕනෑම බල්බයක් සසඳා වෙනස වටහා ගන්න යැයි මම ආරාධනා කරනවා. සෝලා පැනල සේම oktan බල්බ අපනයනය කිරීමත් දැන් අරඹා තිබෙනවා. අප්‍රිකානු ර‍ටවල අපගේ නිෂ්පාන සඳහා ඉහළ ඉල්ලුමක් ති‍බෙනවා.

Q- ප්‍රතිඅපනයනය කිරීමට වඩා නිෂ්පාදනය ලාබදායීද?

හොඳ නිෂ්පාදනයක් කිරීමෙන් හොඳ ලාබයක් ලැබිය හැකියි. චීනයට, ජපානයට පුළුවන්නම් ඇයි අපිට බැරි. මම නිතරම හිතුවේ එහෙමයි . ඒ අයත් මිනිස්සු අපිත් මිනිස්සු. අපේ අය දක්ෂයි අපිට හොඳ දෙයක් කළ හැකියි.

Q- මොනවද ඉදිරි අපේක්ෂා?

බල්බය පිළිබඳ අත්දැකීම් හොඳයි. ඉදිරියේ දී රයිස් කුකර් එක, බ්‍රෙන්ඩ‍රය, විදුලි පංකා ආදී උපකරණ මෙරට නිෂ්පාදනය කිරීමට සැලසුම් කරනවා. එමඟින් වැඩි පිරිසකට රැකියා ලබාදිය හැකි වේවි.

Q- රජයේ සහාය කොහොමද?

කිසිදු රජයකින් සහායක් හෝ උදවු වුවමනා නෑ. මෙතෙක් දුර ආවේ ආත්ම විශ්වාසය හා කැපවීම මතයි. කිසිවකු මත යැපීම ම‍ගේ පිළිවෙත නොවේ.

සටහන -බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න