ඉෂාන්-තිවංක අද බොක්සිං වළල්ලට | දිනමිණ

ඉෂාන්-තිවංක අද බොක්සිං වළල්ලට

රන්-රිදී පදක්කම් ලක්මවට ගෙන දෙන්න



රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගයේදී ඈන් මරියාගෙන් දස්කම්

ප්‍රින්ස් ගුණසේකර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් සිට...

බොක්සිං කිලෝග්‍රෑම් 46-49 බර පන්තිය යටතේ අවසන් පූර්ව තරගයට සහභාගීවන තිවංක රණසිංහට තම ප්‍රතිවාදියා ලෙස එංගලන්තයේ ගලාල් යෆායී හමුවන අතර කිලෝග්‍රෑම් 52 බර පන්තියේ තරගවදින ඉෂාන් බණ්ඩාරට ඉන්දියාවේ ගෞරව් සොලන්කි අද මුණ ගැසේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා දැනටමත් ලෝකඩ පදක්කම් සුරක්ෂිත කරගෙන බොක්සිං වළල්ලට පිවිසෙන අතර අද තරගයේදී ජයග්‍රහණය වාර්තා කළහොත් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රන් හෝ රිදී පදක්කම් සටහන්වන අවසන් තරගයට පිවිසීමේ අවස්ථා උදාවනු ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං රිදී පදක්කමක් දිනා ඇත්තේ 1950දී ඕක්ලන්ඩ් ක්‍රීඩා උළෙලේදී ඇල්බර්ට් පෙරේරා විසින් වන අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා බොක්සිං රන් පදක්කමක් අවසන් වරට දිනා ඇත්තේ 1938දී සිඩ්නි ක්‍රීඩා උළෙලේදී බානී හෙන්රිකස් විසිනි. එබැවින් අද බොක්සිං වළල්ලට ගොඩවන තිවංකට හා ඉෂාන් යන දෙදෙනාටම කළකට පසු ශ්‍රී ලංකා නාමය බොක්සිං පිටියේ බැබලවීමට අනගි අවස්ථාවක් උදාවී ඇත.

25 හැවිරිදි තිවංක රණසිංහ දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී අනු ශූරතාව දිනාගත් අතර දකුණු අප්‍රිකා හා වැනආටුවා ක්‍රීඩකයන් පරාජයට පත්කොට අවසන් පූර්ව තරගයට පිවිසියේය.

තිවංක සමග තරග කරන එංගලන්තයේ 25 හැවිරිදි ගලාල් යෆායී 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී අවසන් ක්‍රීඩකයන් 16 වටයට පිවිසියේය. පසුගිය වසරේ ජර්මනියේ හැම්බර්ග්හී පැවැති ලෝක බොක්සිං ශූරතාවලියේදි ද එවැනිම දස්කමක් දක්වා ඇති ඔහු මේ ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට පිවිසීමට කැමරූන් හා මොරිසස් ක්‍රීඩකයන් දෙදෙනා පරාජයට පත් කළේය.

ඉෂාන් බණ්ඩාර මූලික වටයේදී නාවුරු හා අර්ධ අවසන් වටයේදී ලෙසෙතෝ ක්‍රීඩකයන් පරාජයට පත් කළේය. ඔහුට අද එරෙහිවන 21 හැවිරිදි ගෞරව් සොලන්කි මූලික වටයේදී ඝානා හා අර්ධ අවසන් වටයේදී පැපුවා නිව් ගිනි ක්‍රීඩකයන් පරාජයට පත් කළේය.

ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ රිද්මයානුකූල ජිම්නාස්ටික් සෑම අංශයකම ඉරියව් දක්ෂතා පෙන්වන ඒකළ තරගයේදී ඈන් මරියා ඔන්ඩච්චි රටවල් 15ක ක්‍රීඩිකාවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිටී. ගෝල්ඩ් කෝස්ට් කුමේරා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මේ තරගයේ මූලික වටයේදී ඈන් මරියා සිවුවැනි ස්ථානයේ සිටි අතර පුවත්පත මුද්‍රණයට යද්දී තරගය ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. කෙසේ වුවද කැනඩා ජාතික පුහුණුකාරිණියගේ විශ්වාසය වන්නේ ඈන් මරියා පදක්කමක් දිනා ගනු ඇති බවය.

ඊයේ පැවැති බැඩ්මින්ටන් කණ්ඩායම් 16 අතර මිශ්‍ර යුගල තරගයේදී තිළිණි හෙන්දහේවා හා සචින් ඩයස් සිංගප්පූරුව හමුවේ 2-0කින් පරාජයට පත්වූ අතර ටේබල් ටෙනිස් 16 දෙනාගේ වටයේදී හංසනි කපුගීකියන හා ඉෂාරා මධුරංගී 2-0ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත්වූහ.

කැරාරා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති කාන්තා මීටර් 800 මූලික වටයේ තරග 3කට ක්‍රීඩිකාවන් 26ක් ටක්වූ අතර ගයන්තිකා අඹේරත්න විනාඩි 2: 04.72කින් 21වැනි ස්ථානයට පත්වූ අතර නිමාලී ලියනාරච්චි විනාඩි 2: 08.52කින් 23වැනි ස්ථානයට පත්වී අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථා අහිමි කරගත්තාය.

මල්ලවපොර තරගවලදී කිලෝග්‍රෑම් 53 බර පන්තියෙන් තරග කළ දිපිකා දිල්හානී ඔස්ට්‍රේලියාව පරාජයට පත්කළ අතර ඉන්දියාවට හා කැනඩාවට පරාජය වූවාය. පිරිමි කිලෝග්‍රෑම් 57 තරගයේදී චාල්ස් ප්‍රනාන්දු ස්කොට්ලන්තය පරාජයකළ අතර පැකිස්තානය හමුවේ පරාජයට පත්විය. කිලෝග්‍රෑම් 74 බර පන්තියේ තරගයේදී සුරේෂ් ප්‍රනාන්දු වේල්සය හමුවේ පරාජයට පත් විය.

කැමරුන් ක්‍රීඩකයන් 8ක් ගම්මානයෙන් පැනයයි

කැමරූන් ක්‍රීඩකයන් 8ක් ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වෙයි. එක් ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියාවට පැමිණි වහාම ක්‍රීඩා ඉසව්වලට එක් නොවී පිටතට ගොස් ඇති අතර අනෙක් ක්‍රීඩකයන් 7ට බොක්සිං ක්‍රීඩකයන් 5ක් හා බර ඉසිලීමේ ක්‍රීඩකයන් 2ක් ඇතුළත්ව ඇත.

අතුරුදන්ව ඇති කැමරූන් බොක්සිං ක්‍රීඩක ක්‍රිස්ටියන් නිඩිසී නවසීලන්තය සමග අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට සහභාගීවීමට සිටි අතර තරගයට නොපැමිණීමෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට නිතරග ජයක් හිමිවිය. මෙලෙස පැනගිය කැමරුන් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා බලාපොරොත්තුවෙන් යන්නට ඇතැයි සැක පහළ කර සිටි. එහෙත් ඔස්ට්‍රේලියානු ආගමන විගමන නීති දැඩි පොලීසියට හසු වුවහොත් සිර දඩුවම් විදීමට සිදුවනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...