රාජකීය-සා.පීතර අපරාජිතව පෙරමුණේ | දිනමිණ

රාජකීය-සා.පීතර අපරාජිතව පෙරමුණේ

ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සති අන්තයේ තරග නිමාවෙන් පසුව රාජකීය විදුහල් පිල අපරාජිතව ‘ඒ’ කාණ්ඩයෙත්, සාන්ත පීතර විදුහල් පිල අපරාජිතව ‘බී‘ කාණ්ඩයෙත් පෙරමුණ ගැනීමට සමත්වූහ.

පසුගිය සති අන්තයේ පැවැති තීරණාත්මක තරග 2කදී රාජකීය විදුහල් පිල සහ සාන්ත පීතර විදුහල් පිල සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ‘ඒ’ කාණ්ඩයේ එතෙක් අපරාජිතව දෙවැනි ස්ථානයේ පසුවූ සාන්ත ජෝශප් විදුහල් පිල සමග පැවැති තරගය ලකුණු 18-13කින් ජයගැනීමට රාජකීය විදුහල් පිල සමත්වූ අතර අපරාජිතව ‘බී’ කාණ්ඩයේ දෙවැනි තැන පසුවූ ඉසිපතන විදුහල් පිල සමග පැවැති තරගය ලකුණු 20-14කින් ජයගැනීමට සාන්ත පීතර විදුහල් පිල සමත්විය.

මෙතෙක් පැවැති තරගවලදී සාන්ත ජෝශප් විදුහල් පිලේ ගැමුණු චේතිය උත්සාහක දිනුම් 7ක් රැස් කරමින් වැඩිම උත්සාහ දිනුම්ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර එම විදුහල් පිලේහිම ජෝන් ගනේගොඩ, ඩී.එස්.සේනානායක විදුහල් පිලේ දිනූෂ හේමසිරි, ඉසිපතන විදුහලේ රමිත් ද සිල්වා සහ සාන්ත පීතර විදුහල් පිලේ නිස්රාන් නිලාර් උත්සාහක දිනුම් 4 බැගින් රැස් කරමින් දෙවැනි තැනට පත්වී සිටිති.

මේ අතර සමස්ත ලකුණුලාභින් අතර පෙරමුණ ගැනීමට රාජකීය විදුහල් පිලේ දුලාන් ගුණවර්ධන සමත්වී ඇත්තේ උත්සාහක දිනුම් 14ක් ගෝල බවට පත් කරමින් සහ දඬුවම් පහර 4ක් සාර්ථක කරමිනි. ඔහු මේ වනවිට සමස්ත ලකුණු 40ක් ලබා පෙරමුණ ගෙන සිටින අතර සාන්ත පීතර විදුහල් පිලේ ශෙහාන් ලියනපතිරණ උත්සාහක දිනුම් 15ක් ගෝල බවට පත් කරමින් ද, එක් උත්සාහක දිනුමක් රැස් කරමින් ද, දඬුවම් පහරක් සාර්ථක කරමින් ද වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි තැන පසුවන්නේ ලකුණු 38ක් රැස් කරමිනි.

සිංහල අවුරුදු නිවාඩුව හේතුවෙන් මේ සති අන්තයේ තරග නොපැවැත්වෙන අතර තරගාවලිය ලබන සති අන්තයේදී යළි ඇරැඹේ. 

 


නව අදහස දක්වන්න

Or log in with...