19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ශූරයෝ රත්ගම දේවපතිරාජයෙන් | දිනමිණ

19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ශූරයෝ රත්ගම දේවපතිරාජයෙන්

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, සිංගර් ශ්‍රී ලංකා ආයතනය සමග එක්ව සංවිධාන කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

කුරුණෑගල සාන්ත ආනා විදුහල සමගින් කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල් පිටියේ පැවැති අවසන් මහ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්කරගත් දේවපතිරාජ ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය හිමිකර ගනිමින් මේ ශූරතාව අත්කර ගැනීමට සමත් වූහ. ඒ අනුව දෙවැනි කොටසේ ශූරයන් වූ දේවපතිරාජ විදුහල සහ අනුශූරයන් වූ සාන්ත ආනා විදුහල ලබන වසරේ සිට පළමු කොටසින් ක්‍රීඩා කිරීමට නියමිතය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් දේවපතිරාජ නායක පැතුම් මධුසංකගේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් සාන්ත ආනා පිල සියල්ලන් දැවී ලකුණු 275ක් රැස් කළේය.

එම ඉනිමට අර්ධ ශතක 3ක් එක්කිරීමට පුබුදු ගනේගම (68), ධනංජය බණ්ඩාර (57) හා දිනෙත් චන්දිමාල් (51) සමත් වූහ. ධනංජය හා දිනෙත් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 101ක් එක් කිරීමට සමත් වූහ. නායක රන්දීර රණසිංහට ලකුණු 4කින් අර්ධ ශතකය අහිමිවිය. විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ ඉරුෂික තිමිර කඩුලු 5ක් බිඳ දැමූ අතර අනගි සහයක් ලබාදුන් පවන් ද සිල්වා කඩුලු 3ක් දවාලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දේවපතිරාජ විදුහල තරගය නතර කරනවිට කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස්කර තිබිණි. විශිෂ්ට ඉනිමක් දියත් කළ සුධීර වීරරත්න ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය. පන්දු 230කට මුහුණදුන් ඔහු හතරේ පහර 16කින් හා හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

ලකුණු 26කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී සුධීර සමග එක්වූ ජීවක ශෂින් ලකුණු 73ක්ද, සිවුවැනි කඩුල්ලට රවීන් යසස් සමගින් ලකුණු 128ක් එක් කිරීමට සමත්වූහ. යසස් ලකුණු 68ක් රැස්කළේ පන්දු 139කදී හතරේ පහර 9ක් සමගිනි.

සාන්ත ආනා පළමු ඉනිම - 275යි. (ඕවර 79.2) පුබුදු ගනේගම නොදැවී 68, ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රන්දීර රණසිංහ 46, වනිත වන්නිනායක 26 (ඉරුෂික තිමිර 87/5, පවන් සන්දේශ් 45/3)

දේවපතිරාජ පළමු ඉනිම - 283/6යි. (ඕවර 112.5) සුධීර වීරරත්න 104, රවීන් යසස් 68, ජීවක ශෂීන් 34, පැතුම් මධුසංක නොදැවී 20, තිසර ඩිල්ෂාන් නොදැවී 20 (ධනංජය බණ්ඩාර 22/2)

නව අදහස දක්වන්න