සතොස හිටපු සභාපති රුවන්ජීවට ඇප | දිනමිණ

සතොස හිටපු සභාපති රුවන්ජීවට ඇප

සුභාෂීණී සේනානායක

ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සතොස හිටපු සභාපති වරයකු වන නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා ඇප කොන්දේසි සහිතව නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12) නියෝග කළාය.

විත්තිකරු වෙනුවෙන් ඇප සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිඛිත ඇප අයදීම පිළිබඳ නියෝගය ලබා දෙමින් සතොස සමගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සතොස ආයතනය පොදු දේපළ පනත යටතට ගැනෙන බව බැලු බැල්මට නවිශ්චය කළ නොහැකි බව කියමින් මහේස්ත්‍රාත්වරිය සැකකුට ඇප ලබා දුන්නාය.

රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් නිම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළාය.

එමෙන්ම විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ලබා‍ දුන් නඩු තීන්දු කිහිපයක් ආදර්ශයට ගෙන එම නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිල දී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රිඩා උපකරණ ලබා දී ඇති බවට හිටපු සතොස සභාපතිවරයාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා ගොනු කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ලබන හැයි මස 11 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් වරිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය. 

නව අදහස දක්වන්න