අටුකොටු පිරෙන සූර්ය මංගල්‍යය | දිනමිණ

අටුකොටු පිරෙන සූර්ය මංගල්‍යය

සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක

අටු කොටු ධාන්‍යයෙන් පිරි ඉතිෙරන, ගස්, වැල් පලින් බරවන සශ්‍රීක බක්මහේ දස දෙස රැව් දෙන කොවුල් හඬින් සිත් සතන් පුබුදාලන්නේ උදාවන සූර්ය මංගල්‍යයේ අසිරිය නිසාමය. සිංහල, හින්දු ජනයා උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් පවත්වන මෙම සූර්ය මංගල්‍යය බොහෝ දෙනා හඳුන්වන්නේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද නමිනි.

මෙය අප රට තුළ පවත්වන උත්සව අතරින් ප්‍රධානම එකකි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම, දුප්පත් පොහොසත් භේදයකින් තොරව අලුත් අවුරුදු සැමරීම සිදු කරන්නේ එය අප රටේ වෙසෙන, සිංහල බෞද්ධ හා දෙමළ හින්දු ජනතාවගේ සංස්කෘතිකාංගයක් බවට පත්වූ නිසාවෙනි. කතෝලික ක්‍රමයට එළඹෙන ජනවාරි පළමු වැනිදා උදාවන්නේ 2019 නව අවුරුද්දය. එය මුළු ලොවම පිළිගත් අලුත් අවුරුද්ද වනු ඇත. අතීතයේ එය ක්‍රිස්තුවර්ෂ යනුවෙන් හැඳින්වූවද වර්තමානය වනවිට එය ව්‍යවහාර වර්ෂය ‍යනුවෙන් හඳුන්වයි. එහෙත් අප කතා කරන සිංහල, හින්දු අවුරුද්ද ලොව සුළු පිරිසකට පමණක් වැදගත්වන අතර එය ශක වර්ෂය වශයෙන් හඳුන්වයි.

ශක වර්ෂයේ ආරම්භය මීට වසර 1940කට පෙරාතුව ඉන්දියාවේ පැවැති ශක රාජ්‍ය වංශය වෙත ඇදී යනු ඇත.

ශක රාජ්‍ය වංශයේ අධිපතීත්වය දැරුවේ ‘ශක’ රජවරුය. ඔවුන් තමන්ගේ නම හා රාජ වංශය පවත්වා ගැනීම සඳහා ශක වර්ෂය යනුවෙන් තව දින දර්ශනයක් ආරම්භ කළහ. එය සූර්යා සහ ග්‍රහ වස්තූන් පිහිටීම හා ගමන් කිරීම පදනම් කර ගනිමින් සැකසූ අතර එහි මූලික සිද්ධාන්තය නක්ෂත්‍රය හා නැකත් ආශ්‍රව සිදු කෙරිණි. ශක වර්ෂයට අනුව එහි ඇරඹුම සූර්යා මීන රාශියේ සිට මේෂ රාශි ගත වීම සිදුවන්නේ අප්‍රේල් 13 හෝ 14 යන දෙදින තුළදීය. ශක වර්ෂ සකස් වීමේදී නැකත්වලට ප්‍රමුඛස්ථානය හිමිවන අතරම එය සිංහල බෞද්ධයන්ගේ හෝ දෙමළ හින්දුන්ගේ අවුරුද්දක් නොවූහ. එහෙත් කාලයත් සමඟින් දෙමළ හින්දු භක්තිකයන් ශක අවුරුද්ද ඔවුන්ගේ අවුරුද්දක් බවට පත්කර ගත්හ. ඒ එම ක්‍රමයේ තිබූ චාරිත්‍ර හා වාරිත්‍ර වලට ඔවුන් කැමැත්තක් දැක්වූ නිසා විය හැකිය.

එහෙත් සිංහල බෞද්ධයන් මෙම ශක වර්ෂය තමන් සතු කර ගැනීමට කුමන හේතු තිබුණදැයි පැහැදිලිව කිව නොහැකිය. ඇතැම්විට පෙර දවස ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ රජවරු හා ඔවුන්ගේ බිසෝවරුන්ගේ ආභාෂයද වන්නට පුළුවන. ලක් ඉතිහාසය ගත්විට හින්දු ආගමික චාරිත්‍ර හා වාරිත්‍ර අප රට තුළ මුල් බැස ගත්තේ සොලීන්ගේ ලංකා ගමනයත් සමඟ බව පැහැදිලිය. කෙසේ වෙතත් මේ වන විට ශක වර්ෂයට අනුව පවත්වන අවුරුද්ද අප රටේ සිංහල බෞද්ධ හා දෙමළ හින්දු ජනතාවගේ මූලික සංස්කෘතිකාංගයක් බවට පත් වී තිබේ.

මෙම අවුරුදු ක්‍රමය ලොව පැවැත්වෙන අනිකුත් අවුරුදු ක්‍රම හා ගත්කළ සුවිශේෂී වන කරුණු කීපයක්ම තිබේ. දැනට ව්‍යවහාර වර්ෂය වන ක්‍රිස්තු වර්ෂය ආරම්භ වන්නේ දොළොස් මසේ පළමු මස පළමුවන දින සිටය. එහෙත් ශක වර්ෂය ආරම්භ වන්නේ වසරේ මාස තුනක් ගිය තැන එළෙඹෙන අප්‍රේල් මස දින දොළහක් ගත වූ පසුවය. අනික් කරුණ නම් ව්‍යවහාර වර්ෂයේ නව වර්ෂය උදා වෙන්නේ දෙසැම්බර් මස තිස් එක්වන දින රාත්‍රී 11.59 පසු වූ විට එළඹෙන ජනවාරි මස පළමු තත්පරයේදීය. එය කිසිදා වෙනස් නොවන සිද්ධාන්තයක් වන නමුත්, ශක වර්ෂ නව අවුරුදු උදාව සිදුවනුයේ ඊට හාත්පසින් වෙනස් ආකාරයකටය. ඒ සඳහා නියමිත දිනයක් නොවන අතර අප්‍රේල් 13 හා 14 යන දෙදින තුළ දෝලනය වේ. ඊට අමතර එහි විශේෂත්වය වන්නේ අවුරුදු අවසානය හා නව අවුරුදු උදාව සඳහා ස්ථිර වූ වෙලාවක් නොමැති වීමය.

එහි තවත් සුවිශේෂී කාරණයක් ද තිබේ. ව්‍යවහාර වර්ෂය අවසානය හා ආරම්භය අතර වෙනස තත්පරයක තරම වූවත් ශක වර්ෂ ක්‍රමයේ වර්ෂ අවසානය හා නව වර්ෂ උදාව අතර පවතින කාලය පැය ගණනක් වීමටද ඉඩ ඇත. ඒ ඒ වර්ෂවල එළඹෙන නැකත් අනුව එහි කාලය තීරණය වේ. මෙය සංක්‍රාන්ති සමය වශයෙන් හඳුන්වන අතර නොනගතය නමින් සාමාන්‍ය ජනයා ව්‍යවහාර කරති. එය ‘‍නොනැකත’ නම් නක්ෂත්‍ර මතය වේ.

නොනැකත යනු කිසිදු නැකතක් නැත යන බැවින් එකී කාලය ඉතා අශුභ බව නැකැත් කරුවන්ගේ විශ්වාසය වී තිබේ. එනිසා එම කාලය තුළ පුණ්‍ය ක්‍රියා සිදු කිරීම මැනවැයි ඔවුන්ගේ අදහසයි.

සිංහල, හින්දු අලුත් අවුරුදු සමඟ බැඳී තිබෙන සිරිත් ‍ෙබාහොමයකි. ඒවාද ලොව පුරා පවත්වන අනිකුත් අවුරුදු හා ගත් කල කැපී පෙනේ. ගෙවී යන අවුරුද්ද වෙනුවෙන් වැඩ අවසන් කිරීම, නව අවුරුදු උදාව සමඟ ලිප ගිනි මෙළවීම, ආහාර අනුභය හා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම හා ස්නානය මූලික වශයෙන් කැපී පෙනෙන චාරිත්‍ර වේ. මේ සෑම දෙයකින්ම ජන ජීවිතයේ නැවුම් බවක් හා ප්‍රබෝධයක් උදා කර දෙති.

මෙවැනි චාරිත්‍රයන් සමඟින් සූර්ය මංගල්‍යය පවත්වන සෑම නිවසකම දක්නට ලැබෙන්නේ උත්සව සිරියකි. විසිරී සිටින පවුලේ සාමාජිකයන් එක්ව එකම වැඩ කරන දිනයකි. පවුලේ සියලු දෙනාම එක්ව ආගමික වතාවත්හි නිරතවන දිනයකි. එකිනෙකා අතර පෙර තිබූ සුළු අමනාපකම් ඉවත දා සමඟිව කටයුතු කරන දිනයකි. ලොකු කුඩා කවුරුත් එකට එක්වී පාරම්පරික ජන ක්‍රීඩා හා නැටුම් ගැයුම්වලින් සතුටුවන දිනයකි.

උදාවන නැකතට අනුව අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී, අලුත් වළඳක, අලුතින් සැකසු ලිපක කිරිබතක් පිළියෙල කරන්නේ එම අවුරුද්ද සුබවේවායි යන පැතුම සිතේ තබාගෙනය. අලුත් අවුරුදු සමරන සියලු දෙනාම එකම මොහොතක එකම සිතිවිල්ලක සිට එකම වැඩය කරනා තවත් මොහොතක් මෙලොව නැත. සියල්ලෝම නිවසේ කටයුතු තාවකාලිකව නවතා තබන චාරිත්‍රය ඇත්තේ ද සිංහල හින්දු අලුත් අවුරුදු ක්‍රමයේය. සියලු චාරිත්‍ර සියලු දෙනාම එකම වෙලාවටම සිදු කිරීමද ආශ්චර්යයක් බඳුය. සූර්ය මංගල්‍යය එක් ආකාරයකට සූර්යාට උපහාර දක්වීමක් ලෙසද සැළකිය හැකිය. මිනිසාගේ පැවැත්මට සූර්යා අවශ්‍යම නිසා මෙම ක්‍රියාවද කළගුණ සැළකීමක් ලෙසින්ද බැලිම සාධාරණය.

ගිනි සහ ජලයද මිනිසා ජීවත් කිරීමට අවශ්‍ය තවත් දෙයකි. අලුත් අවුරුද්ද වෙනුවෙන් ලිප ගිනි මොළවා ලිපට වැඳීම ද සිරිතකි. තමන්ට හා දරු පවුලට අවශ්‍ය ආහාර පිළියෙල කර ගැනීමට අවශ්‍ය ගින්දරට ගරු සත්කාර කිරීම මෙම චාරිත්‍රයෙන් සිදු කරනවා විය හැකිය. තවද ගනුදෙනු කිරීමේදී ජීවිත කාලයටම අවශ්‍ය ජලය සපයන ලිඳට වතුර පිරිසිදු වීමට අඟුරු කැබැල්ලක් දමා වතුර කලයක් ගෙට ගැනීමද පැරණි අවුරුදු චාරිත්‍ර අතර වේ. බුලත් හුරුල්ලක් දී තම මව්පිය වැඩිහිටියන් වන්දනාමාන කර දැන හෝ නොදැන තමා අනිත් වැරදි සිදු වී නම් ඒවාට සමාව අයැදීමද වටිනා චාරිත්‍රයකි. ආහාර අනුභවයේදී නිවසේ ප්‍රධානියා වන මව හෝ පියා විසින් තම දූ දරුවන්ට කිරිබත් පිඬක් කැවීම ද කැපී පෙනෙන සිරිතකි. මව සහ පියා කිසිවිටකත් තම දරුවන්ට අයහපතක් අපේක්ෂා නොකරන දෙපළකි. එවැනි අයගෙන් අවුරුද්දේ පළමු බත් පිඬ අනුභව කිරීම ආශිර්වාදයකි. මක්නිසාදයත් ඔවුන් නිතර තම දරුවන්ගේ යහපත අපේක්ෂා කරන දෙපළක් බැවිනි. සහෝදර සහෝදරියන්ට මෙන්ම ඥාති හිත මිත්‍රාදීන්ට තෑගි බෝග දීමද මේ සිංහල හින්දු අවුරුද්ද තුළ දකින්නට ලැබෙන තවත් විශේෂ කටයුත්තකි. පරිත්‍යාගය උතුම් දෙයක් බැවින් ඒ කටයුත්තද ඉතා යහපත්ය. අලුත් අවුරුදු නැකතේ හිස තෙල් ගැල්වීමද නිරෝගී සුවය අපේක්ෂාවෙන් සිදු කරන අතර ස්නානය ද මිනිස් සිරුරට අවශ්‍ය දෙයකි. එයින් සිරුර පිරිසිදුව මිනිසා නිරෝගී කරයි. අවුරුදු සිරිත් අතර නෑගම් යාමද ඉතා හොඳ දෙයකි. එයින් එකිනෙකා අතර සුහදත්වය වර්ධනය වනවා ඇත. සංක්‍රාන්ති සමය තුළ දී පුණ්‍ය ක්‍රියා සිදු කිරීම උදෙසා බෞද්ධයන් පන්සල හා හින්දු කෝවිල වෙත යාම හා ඒ ආගමික වත් පිළිවෙත් කිරීම මඟින් මනස පිරිසිදු කර ගැනීම සිදු වේ.

ඇතැම්විට මූලික වශයෙන් මේ චාරිත්‍ර සැකසු පුද්ගලයන් අවුරුදු උදාවීමට පෙර පුණ්‍ය කාලය ලෙස කාලසීමක් නම් කරන ලද්දේ මිනිසුන් එකී කාලය තුළ පුණ්‍ය ක්‍රියා සිදු කිරීම මඟින් අවුරුද්දේ ප්‍රථම කටයුත්ත යහපත් දෙයකට යෙදවීමට විය හැකියැයි සිතීමට පුළුවන.

කෙසේ වෙතත් සිංහල - හින්දු අලුත් අවුරුදු උදාව සමඟින් මිනිසාගේ ජීවිතය අලුත්ම මඟකට ගෙන යනවා මෙන්ම ඔවුන්ට අලුතින් සිතන්නටද හුරු කර තිබේ. අවුරුද්ද යනු හිතේ ප්‍රීතියෙන් අලුත් කටයුතු ආරම්භ කිරීම නම් එම ප්‍රීතිය හා ක්‍රියාවන් විදිහට පමණක් සීමා නොකොට සැමදාටම සැවොම සමඟ සමඟියෙන් සතුටින්, කළයුත්ත කළයුතු වෙලාවට සිදු කරන්නේනම් අවුරුදු සුබ නැකත ජීවිත කාලය පුරාම සඵලවනු ඇත.

සටහන - නිශාන් මෙන්ඩිස්


නව අදහස දක්වන්න

Or log in with...