එරබදු | දිනමිණ

එරබදු

 එරබදු මලේ විද්‍යාමත්මක නාමය '' එරිත්‍රිකා වාරිගෙහාටා ගාවා'' (Erithrika Varigehata Gava)ය. ඉන්දීයන් කොරල් ට්‍රී (Indian Coral tree),ප(ර්)පල් කොරල් ට්‍රී (Perple Coral tree) යනුවෙන් ඉංගී‍්‍රසි බසින් හඳුන්වන එරබදු ශාකය දෙමළ බසින් හඳුන්වන්නේ ''මුල්ලු මුරුංගෙයි'' නමිනි. එහි අරුත “කටු මුරුංගා” යන්න යි. මුරුංගා වැනි ප්‍රයෝජනවත් ඵලයක් එරබදු අපට නොදුන්නද මුරුංගා කරල් සේම කුඩා කරල් හටගන්නා මුරුංගා ගස සේම ශක්තිමත් නැති කටු සහිත කඳකින් මෙම ශාකය යුක්ත වීම ඊට හේතුව යි.

එරබදු කොළ මැල්ලුම මිනිස් සිරුරට වද දෙන කිරි පණු රෝගය නසන බැවින් සංස්කෘත බසින් මෙය කෘමිස්න, කෘමිශත්‍රං යන නම්වලින් ද හැඳින් වේ. එරබදු ගසෙහි කඳෙහි හා අතුවල උල්කටු පිරී පවතී. එරබදු හා “යක් එරබදු” නමින් එරබදු ශාක වර්ග දෙකක් පවතී. මෙයින් යක් එරබදුවල කටු ඉතා බහුල ය.

අඩි 10 -20 ක් පමණ උසකට වැවෙන එරබදු ශාකයේ කඳ අළු පැහැයක් ගනී. බෝ කොළයකට සමාන හැඩයක් ගන්නා පත්‍ර තුනක් එකට සම්බන්ධ වීමෙන් එරබදු කොළය නිර්මාණය වී ඇත. එය ත්‍රීපතික පත්‍ර ස්වරූපය ලෙසින් හැඳින්වේ. දලු පත්‍ර බූව සහිත ය. එරබදු දල්ල දද, කුෂ්ඨ හා කිරි පනු ගාය රෝගවලට ඉතාම ගුණදේ. දලු මැල්ලුම කිරි රසින් අනූන ය. එරබදු දලුවල අඩංගු “එරිත්‍රීන්” නම් අල්කොලයිඩය නිසා එය කුඩා දරුවන්ගේ පණු රෝග නැසීමට ඉතා ගුණ බව සිංහල වෙදකමේ සඳහන් වන අතර උද්භිද විද්‍යාඥයන් පවා එය සනාථ කරයි. පෙබරවාරි මාසයේ දී එරබදු ගසේ කොළ හැලෙයි. මාර්තු අග හා අපේ‍්‍රල් මූල වන විට ගස පුරා රක්ත වර්ණ දීප්තිමත් මල් පොකුරු ලෙස පිපෙයි.

එරබදු ගසේ කඳ මුරුංගා ශාකයේ කඳ මෙන්ම ශක්තියෙන් හීන ය. එම අඩුව කටුවලින් පියවා ගන්නා එරබදු ශාකය මිනිසාට තම උපකාරය ලබාදෙන්නේ වැටවල්වල සිටුවීමෙන් ආරක්ෂාව ලබාදීමෙනි. එරබදු කටු ඉතා තියුණු බැවින් ගෙවතු මෙන්ම වගාබිම් ආරක්ෂාවට ද ඉතාම උචිත වැට ශාකයකි. මේරූ අතු මද වියළි පොළවේ පවා හොඳින් අතු රිකිලි දමා පැළකර ගැනීම පහසු ය. එරබදු කරල සිලින්ඩරාකාර වන අතර අග තුඩ ඉතා තියුණු ය. මෙහි බීජ 6-10 ක් අතර ප්‍රමාණයක් පවතී.

එරබදු ශාකය පංචාංගයම මුල්, කොළ, පොතු, ගෙඩි, මල් දේශීය වෙදකමේ ඖෂධ ලෙස යොදා ගනී. තේ, කෝපි වගා ඉඩම්වල අධික හිරු රශ්මියෙන් එම වගා ආරක්ෂා කිරීමට සෙවණ ශාකයක් ලෙස ද එරබදු ගස ඉතා ප්‍රයෝජනවත් සේවාවක් සපයයි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම එරබදු ශාකය වැවෙන අතර හිමාල කඳු වැටියේත්, (ඊසාන දිග ආසියාවේ) ජාවා දූපත් වෙනිසියුලාව, මැඩගස්කරය, අපි‍්‍රකාව, බුරුමය, මලක්කාව ආදි රටවල ද එරබදු ශාකය සරුවට වැවේ. වෙනිසියුලාවේ ට්‍රිජිල්ලෝ ජනපදයේ ජාතික පුෂ්පය වන්නේ ද එරබදු පුෂ්පය යි. එරබදු මල් ලක්වැසියනට අවුරුදු පණිවිඩය ගෙන එන එක් ප්‍රධාන පරිසර සාධකයකි.

එරබදු අවුරුද් ළඟ එද්දි මුළු මහත් පරිසරයම අලංකාරවත් කරන මල් විශේෂයකි. ඇතැම් ප්‍ර‍දේශවල එරමුදු ලෙස ද හඳුන්වන මේ ශාකය අලංකාර රතු පැහැති මල් පොකුරක් හටගන්නා බැවින් දිව්‍යලෝකයේ ඇති පරසතු ගස මේ එරබදු යැයි අතීත ගැමියෝ විශ්වාස කළහ.

අළු පැහැති පොත්තත් තියුණු කටු පිහිටීමත් හේතුවෙන් පහසුවෙන් හඳුනාගත හැකි එරබදු ශාකයේ පත්‍ර කොටස් තුනකට වෙන්ව පවතී.

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේත් අතරමැදි කලාපයේත්, තෙත් කලාපයේත් දක්නට ලැබුණු එරබදු ගැමි නිවෙස්හි වැටට ඉන්දන ශාකයක් ලෙස පැවතින. නමුත් අද වනවිට එරබදු ගස අප ලංකාවේ ප්‍රදේශවලින් වඳවෙමින් යයි. නිවෙස් වටා වැටක් වෙනුවට තාප්පයක් ඉදිවීම එරබදු ශාකය සමුගැනීමට ප්‍රබල හේතුවක් වී ඇත. මෙම ගසේ වටිනාකම නොදන්නා පිරිස් ගස් කපා ඉවත් කරති.

පෙර කී පරිදි එරබදු ශාකය ඖෂධීය වටිනාකමක් සහිතය. ළමුන්ගේ පණු රෝග සඳහා පත්‍රවලින් සාදාගන්නා මැල්ලුම දිව ඔසුවකි. මේ මැල්ලුම කිරි දෙන මව්වරුන්ට දීමෙන් හොඳින් කිරි එරෙන බවට ද විශ්වාසයක් පැවතිනි. ස්ත්‍රීන්ගේ ඔසප් කාලයේ දී උදරයේ ඇතිවන වේදනාව සමනයට ද එරබදු මැල්ලුම ගුණදායකය. දනිස් අමාරුවට බඳින බෙහෙත් සඳහා එරබදු පොතු යොදාගන්නා බව ද පත පොතේ සඳහන් වේ. එරබදු මල් පිපෙන්නේ බක් මාසයේ බැවින් රත් පැහැති එරබදු මල අවුරුදු සමයේ තවත් එක් සංකේතයකි

අප රටේ සංස්කෘතියත් සමග අත්වැල් බැදගෙන මුළු රටම බත බුලතින් සපිරෙන සිංහල අවුරුදු උදාවන අප්‍රේල් මාසයේ ගෙවත්තේ වැට මායිමේ මලින් බර වී පරිසරය සුවඳවත් කරන එරබදු ඖෂධීය ශාකයක් ලෙසින් හැඳින්විය හැක. දේශීය වෛද්‍ය විද්‍යාවේදී එරබදු එරට මුදලියා ලෙසින්ද හඳුන්වනු ලබයි. සංස්කෘත නාමය වූයේ සාරිභද්‍රා යනුවෙන්ද හඳුන්වයි.

ශ්‍රී ලංකාවේ නිදර්ශන ප‍්‍රදේශ ලෙස යාපනය වව්නියාව පොළොන්නරුව පුත්තලම මහනුවර මඩකලපුව අම්පාර හම්බන්තොට නම් කර ඇත. එමෙන්ම පේරාදෙණි උද්භිද උද්‍යානය නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතන වලදී දැකීමට හැකිවේ

එරබදු විශේෂයෙන් වැට මායිම්වල හා ඇලවේලි ගං ඉවුරුවල වැඩි වශයෙන් දක්නට හැකිය. ගැමි ජනතාවගේ රසවත් ව්‍යංජනයක් ලෙසින් හැඳින්විය හැක. නොමේරූ කොළ ව්‍යංජනයට එක්කරන අතර දලු රසවත් සලාදයක් ලෙස ද මැල්ලුමක් ලෙසින් ද ආහාරයට ගනු ලබයි. තවද එරබදු මල් රසවත් මැල්ලුමක් ලෙසින් ආහාරයට ගනු ලබයි. දේශීය වෛද්‍යවේදී හා ගොඩ වෙදකමේදී විශේෂ තැනක් එරබදුවලට හිමිව ඇත.

ගොඩ වෙදකමේ මෙන්ම ආයුර්වේද වෙදකම් අත් බෙහෙතකි. අප ශරීරයේ තැලීම් කැඩීම් හා ඇට බිදීම්වලදී බිදුණු ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට මහඟු සේවයක් කරනු ලබයි. මේ ශාකයේ ඇට චූර්ණ සාදා දීමෙන් දරුවන්ගේ ලෙඩ සුව වීමට කදිම ඔසුවෙකි. තවද එරබදු කොළ හා පොතු අඹරා ලිප තබා කකාරා ගෑමෙන් තුවාල හා ඉදිමුම සුවවේ. එමෙන්ම මධුමේහ රෝගීන් එරබදු කොළ යුෂ පානයේත් ඉක්මන් සුවය ලැබීමට හැකිවේ. එරබදු කොළ හා දලු සකස් කර කෑමෙන් වාතය මෙන්ම සෙම් අමාරු සමනය වීමට හේතු වේ. එහෙත් මෙතරම් ඖෂධීය ගුණැති එරබදු කෙරෙහි දක්වන සැලකිල්ල හා විශ්වාස අප තුළින් ගිලිහී ඇත.

එරමුදු එරබදු දෙකම එකය. එරමුදු හා එරබදු යනු එකම වර්ගයකි. දිව්‍ය ලෝකයේ තිබෙන පරසතු ගස එරබදු ගස ලෙස සමහරු සලකති. මල බුරුලට යන අයට නම් මෙම මැල්ලුම් කෑම හිතකර නොවේ.

ලංකින්ද නානායක්කාර
ඉමදූව සමුහ


නව අදහස දක්වන්න

Or log in with...