අවුරුද්දේ කවි ගී සාහිත්‍යය | දිනමිණ

අවුරුද්දේ කවි ගී සාහිත්‍යය

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ සත්‍යෙක්ෂණය නම් අවුරුදු විචාරශීලී වැඩසටහනට සවන් දී සිටින කල සමන් පනාපිටිය සංගීතඥයා, ගායන ශිල්පියා පහත සඳහන් ජන කවි දෙක පැහැදිලි කළේය. 2018 අප්‍රේල් 07 සෙනසුරාදා සවස එම වැඩසටහන ප්‍රචාරය විය.

අවරගිරි නිල්ල සකි නුඹ දන්නවද
බොරලු පෙරලිල්ල සකි නුඹ දන්නවද
කලපු නැලවිල්ල සකි නුඹ දන්නවද
අවුරු මංගල්ලෙ සකි නුඹ දන්නවද
අවරගිරි නිල්ල ඉඳිකටු ඇමිනිල්ල
බොරලු පෙරලිල්ල නගුලෙන් හෑවිල්ල
කලපු නැලවිල්ල පාරුව පැදවිල්ල
අවුරු මංගල්ලෙ සූරිය හෙලවිල්ල

අලුත් අවුරුද්ද හඳුන්වන්නට සිංහල අවුරුද්ද, සිංහල හින්දු අලුත් අවුරුද්ද, සිංහල - දෙමළ අවුරුද්ද, බක්මහ උලෙළ ආදි යෙදුම් දැකිය හැකිය. මේ ව්‍යවහාර ගැන ප්‍රශ්න තිබේ. ඒ කෙසේ වුවද සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම, නොනගතය වැනි සංසිද්ධි ගැනද නව කතිකා බිහිවී ඇත. ඒ කෙසේ සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම, නොනගතය වැනි සංසිද්ධි ගැනද නව කතිකා බිහිවී ඇත. ඒ කෙසේ වෙතත් ඉහතින් සඳහන් කළ ජන කවියේ අවුරුදු මංගල්ලේ වූ කලී සුර්යයාගේ ගමන යැයි ඉඟි කෙරේ. මෙසේ සලකා බලන කල අවුර්+ඉද්ද යනු සූර්යයා පොළවට ලම්බකව සිටින ලක්පොළවට ඉර මුදුන්වීම අර්ථවත් කරන්නකැයි කියැවේ. සූර්යයා ගමන් නොකරයි. ග්‍රහයෝ හිරු වටා ගමන් කරති. එය ප්‍රධාන මතයකි.

දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහ අකුණු නාට්‍ය මවිසින් නරඹා නොතිබුණි. එතැන් එහෙත් බක්මහදීගේ චිත්‍රපටය නරඹා අසීමිත වින්දනයක් ලැබීමි. නව බග සඳ නමින් අපේ පියාණන් විමල් අභයසුන්දර විසින් ගුවන් විදුලියට ගීත නාටකයක් රචනාකොට නිෂ්පාදනය කරන ලදී. එතුමා විසින් වසන්ත උදාවේ විචිත්‍රාංග - ගීත නාටක කීපයක්ම රචනා කළ බවක් මම දනිමි. මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ගම්පෙරළිය නවකතාවේ අලුත් අවුරුද්දට ගමගෙදරට පැමිණෙන වළංකත්කාරයා සම්බන්ධව සිද්ධිය කදිමට චිත්‍රණයකොට පාඨක සිත් ආකර්ෂණය කරන ලදී. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ,

කුසුම් පිපේ අතුපතරේ
සතර දිගන්තේ
කෝකිල කූජනය නැ‍ඟේ
මදුර වසන්තේ

ගීතය අප්‍රේල් වසන්තය නිමවී එළැඹෙන වෙසක් සිරිය අඟවයි. බක්මහ වසන්තයේ කොවුලාගේ නාදය, පිපිණු මල් දනවන හැඟුම් මිහිරිය. 2018 අවුරුදු මාසයේම වෙසක් පුරපෝය එළැඹීම තවත් විශේෂයකි. බක්මහ සැණකෙළිය සිහිගන්වන අවට පරිසරය අවුරුදු සමරන්නට සැරසෙන ජනී ජනයාගේ ආකල්ප උනන්දුව සිතුවිලි - සිරිත් විරිත් බුලත්දීම, කැවිලි පෙවිලි සකස් කිරීම, අතපසුවීම්, ප්‍රමාද දෝෂයකට සමාව ලබාගැනීම, සියලු දෙනා සමඟ සතුටත් රසකැවිලිත් බෙදාහදා ගැනීම ආදී බොහෝ කරුණු සිහිපත් කරන කවිපෙළ, කෙටිකතා, ශාස්ත්‍රීය ලේඛන අපි කුඩා කාලයේ සිටම පුවත්පත්වලින්, ගුවන් විදුලියෙන්, පසු කලෙක සිට රූපවාහිනියෙන් රසවිඳ ඇත්තෙමු. වෙළෙඳාම අලෙවිය සඳහා නිර්මාණයකොට ඇති ඇතැම් වෙළෙඳ දැන්වීමක, සංගීතයක, ගීතයක පවා එම අවුරුදු සාහිත්‍යයේ රසමුසු තැන් අපට විඳගත හැකිය. එම්. මස්තාන් නම් චිත්‍රපටකරුවා අධ්‍යක්ෂණය කළ එම්. කේ. රොක්සාමි සංගීතය නිර්මාණය කළ ධීවරයෝ චිත්‍රපටය තිරගත වූයේ 1964 අප්‍රේල් මස 10 දාය. එම චිත්‍රපටයට ඇතුළත් වූ පහත සඳහන් මේ ගීතය අතිශය ජනකාන්ත විය.

ඇවිල්ල ඇවිල්ලා සිංහල
අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු
රන් ඔංචිල්ලා
ගායන වෘන්දයක් - පිරිසක් විසින් මේ ස්ථායි කොටස ගයනා ලදී.
කොවුලා බටලී පිඹිනව
කොට්ටෝරුව බෙර ගහනව
ලේන ගසයි කයිතාලම
අවිච්චියා එහි නටනවා

මේ අන්තරා කොටස ගයන ලද්දේ අල්හාජ් මොහිදින් බෙග් ගායකයාණන් විසිනි. ලතා වල්පොළ ගායන වේදිනිය දෙවැනි අන්තරා කොටස මෙසේ ගයන්නීය.

කැවුම් කොකිස් මුං අළුවා
කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමළ පපා
උදේ රබානක් පැලුවා

ක්‍රිස්ටි ලෙනාඩ් ගායකයාණන් තුන්වැනි අන්තරාව ගයන්නේ මෙසේය.

හබුන් කටයි සුබ නැකතයි
දෙගුරුන් අත බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ
කිරි ඉතිරෙයි අපට සෙතයි

මේ රසබර ගීතය රචනා කරන ලද්දේ කරුණාරත්න අබේසේකරයන් විසිනි.

සුනිල්ශාන්ත සංගීත වේදියාණන් ගැයූ

සිංහල අවුරුද්දේ
මංගල ගී සද්දේ

ගීතය අප කුඩා කාලයේ රසමිහිරි අත්දැකීම් ලැබූ තවත් කදිම ගීතයකි. ගුවන් විදුලිය විශේෂ අවුරුදු වැඩසටහන් සඳහා මහගමසේකරයන් විසින් ලියන ලද ගීත අද පවා වසන්ත කාලයේදී නිබ‍ඳව අපට ඇසෙයි.

වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ
සිරියාවෙන් කෙත් වතු පිටි සරු කර
මිටියාවත් කඳු හෙල් දෙණි පහු කර
සන්තෝසය ගෙන ගෙටපතුරා හැර
සෞභාග්‍යය සව්සතට උදා කර
සේද වලා සුදු පිරුවට පටලා
ලා දලු වල් විදුනාවට ලෙළවා
අංග රාග මල් රොත් ගත තවරා
කෝකිල ගීයෙන් කිංකිණි හඬවා
වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වසන්ත සමයේ සුරංගනාවියනේ
නැ‍ඟෙනා කොක්සන් සතුටු සිනාවට
වැයුනා මංගල බෙර බැති ගීයට
වඩිනා පෙර මඟ පියවිලිලා සිට
පිපුනා එරබදුමල් එක යායට
වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ
වඩින්න සමයේ සුරංගනාවියනේ

ආචාර්ය අමරදේව තනුව නිර්මාණය කරමින් ගැයූ මහගමසේකර ලියූ එක් ගීතයකි මේ.

අමරදේවයන් ගැයූ සේකර විසින් පබැඳු තවත් ජනප්‍රියවූ මධුර ගීතයකි මේ.

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරව් පේළි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා
වක්කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කල බලයේ
ඒ තාලෙට වරල් සලාලා
නව අවුරුදු නැටුම් නටනවා
ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා
නා වැටියම දලු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි සිනාවේ
රිදී එළිය ගමට ගෙනාවේ
දොඩම් කපා ඇඹුල් තියා
නැවුම් කළේ උකුලෙ තියා
රන් මැණිකේ දියට වඩිනවා
කුඹුක් ළි‍ඳේ වතුර උනනවා

ඩබ්. ඒ. අබේසිංහ කවියා ගී පද රචකයා විසින් ලියන ලද ළමා ගීතයකි.

අඹ රඹුටන් ජම්බු ඉදෙන
අවුරුදු කාලේ
ජම නාරන් දොඩම් පැහෙන
අවුරුදු කාලේ
දොඹ ගස් යට මල් වැටිලා
අවුරුදු කාලේ
අපේ ගමට ඔන්න ඇවිත්
අවුරුදු කාලේ
කජු පුහුලන් පැණි බේරෙන
අවුරුදු කාලේ
එරබදුමල් රතට පිපෙන
අවුරුදු කාලේ
කෝකිලයන් සින්දු කියන
අවුරුදු කාලේ
අපේ ගමට ඔන්න ඇවිත්
අවුරුදු ක‍ාලේ

වසන්තයේ පණිවිඩය බාලදරුවන්ගේ මනසේ සිතුවම් කරන අපූර්ව චමත්කාර ජනකය. මහාචාර්ය සනත් නන්දසිරි හා විශාරද සුජාතා අත්තනායක ගායන වේදීහු ආචාර්ය අජන්තා රණසිංහගේ මේ ගීතය ගුවන් විදුලියට ගැයූවේ දශක කීපයකට පෙරය.

කොහෝ කොහෝ කොහේ
ඉඳන් කොහෝ කියනවදෝ

ගීතයේ අනුප්‍රාස ලක්ෂණ නිසා රිද්මානුකූලව හැඩවුණු තවත් අවුරුදු ගීයක් නම් පියසිරි විජේරත්න ගායනා කරන හෙන්රි තෙන්නකෝන් ලියූ මේ ගීතයයි.

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද
ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද
නැද්ද කනෙයිවල රොන් සැදිලා
බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ මත ඒ මල් ඉහිලා
පාර වටේ ඇති සේරම ගස්
සරුසාර හැඩයි ගෙඩි හට ගැනිලා
පේර දිවුල් පළු වීර ඉදී එන
වාරෙ වගෙයි මේ පැණි පිරිලා
බැද්දට පැණි වරුසාවක් වැහැලද
ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද
රෑන ගිරා සැළලිහිණි කොබෙයියන්
සීනු හඬින් රස ගී ගයලා
තාන තනා තම් දාන කියා එළි
මාන වටේ කැරකී නටලා
මේ සිංහල අවුරුද්දේ
තුරුලිය පවනේ සෙලවේ
මල් වැස්සක් අද බිමට වසී
මේ සිංහල අවුරුද්දේ
කිරි ඉතිරෙයි සිරි ලංකා මවගේ
මේ සිංහල අවුරුද්දේ
ඔන්චිලි චිලි චිල්ලමලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් කලු අක්කේ
ලිහිනි ගිරා සියොතුන් ගීරාවේ
ගෙන දේ රස අනුරා

මේ සරල ශාස්ත්‍රීය ආකෘතිය අනුව ගීතය රචනා කළේ මඩවල ඇස්. රත්නායකයන් ය. ඒ අමරදේවයන් උදෙසාය. ගුවන් විදුලි ගීයකි. ලයනල් රන්වල සංගීතවේදියා ගායකයාණෝ ගම අවුලඤ්ඤැයි ගීත සමුච්චයෙන් අවුරුදු ගීත පෙරළියක් ඇති කළහ. සමන් පනාපිටිය හා රෝහණ බැද්දගේ සංගීතඥයෝ මාත්‍රා ගීත එකතුවෙන් රස ගී පෙළහරක් ඉදිරිපත් කළහ. සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර ඇහැළියගොඩ, රත්න ශ්‍රී විජේසිංහ විශිෂ්ට අවුරුදු ගීත සාහිත්‍යයකට නිර්මාණ එක්කළහ. 71 කැරැල්ල මට මතකය. එකල අපි පුංචි ළමයින් වීමු. ඉන්පසු ඇති වූ සමාජ පෙරැළිය - පරිසර හානිය තුළ බක්මහ සැණකෙළිය ප්‍රශ්න කරන විකල්ප ගීත කීපයක් බිහිවිය. අවුරුද්ද නිමිතිකොට රසකැවිලි සැදුනක් මෙන් නූතන කවි ගීත සාහිත්‍යයක් ද ‍බිහිවූයේය. බොහෝවිට ජනශ්‍රැති ජනකවි ජන නාද මාලා ඊට මූලාශ්‍රයවී ඇත.


නව අදහස දක්වන්න