අපේ බුද්ධි අංශ ඉතා ශක්තිමත් | දිනමිණ

අපේ බුද්ධි අංශ ඉතා ශක්තිමත්

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හාසාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

l නීතිය හා සාමය ඇමතිධුරය යහපාලන ආණ්ඩුව යටතේ කිහිපදෙනෙකු අතරම මාරුවුණා. ඔබ අතට මේ අමාත්‍යාංශය පත්වෙන්නෙ ඇයි?

බොහොම නරක වෙලාවක තමයි මට මේ අමාත්‍යාංශය බාර දුන්නෙ. අගමැතිතුමත් ජනාධිපතිතුමත් මේ වැඩේ මට භාර දෙනකොට මගේ පලපුරුද්ද ජ්‍යෙෂ්ඨත්වය සලකන්න ඇති. මේ බැරෑරුම් කාර්යය මට කරන්න පුළුවන් කියන විශ්වාසය ඔවුන් තුළ තියෙන්න ඇති.

l යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙච්ච සමහර කාරණා ඉටුකිරීමේදී මේ අමාත්‍යාංශය දුර්වල වුණා කියන මතයක් තියෙනවා. එවන් පසුබිමක ඔබේ වැඩපිළිවෙළ මොකක්ද?

මට මෙතන අමුතුවෙන් මවන්න පුළුවන් දෙයක් නැහැ. මේ රටේ නීතිය හා සාමය රකින බවට අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. හොරුටික, දූෂකයො ටික අල්ලනවා. ඒ එක්කම පාතාලය, මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ක්‍රියාවන් මැඬ පවත්වන්න ඕනා. පොලිසිය ජනහිතකාමී පොලිසියක් බවට පත්කරන්න ඕන. පොලිස් නිලධාරින්ගෙ අඩුපාඩු සොයා බලන්න ඊට විසඳුම් දෙන්න අවශ්‍යයි. මේ හැම එකක් ගැනම හොඳ අධීක්ෂණයකින් හරි තීන්දු ගන්නවා.

l මේ ආණ්ඩුව යටතේ බුද්ධි අංශ අඩපණ වුණා කියල චෝදනාවක් එල්ල වෙනවා?

බුද්ධි අංශ කිහිප ආකාරයකින් වැඩ කරනවා. අපේ බුද්ධි අංශ ශක්තිමත්. අඩපණ නැහැ. හැබැයි ප්‍රශ්නත් තියෙනවා. කොහොම වුණත් බුද්ධි අංශ හැමදාම ශක්තිමත් කළ යුතුයි.

l මහනුවර සිද්ධියෙදි පොලිසිය සහ බුද්ධි අංශ හරි හැටි ක්‍රියාත්මක වුණේ නැහැ කියල කියනවා?

ඒ සම්බන්ධව විවිධ පරීක්ෂක මේ වෙනකොට කරනවා. මට මේ අමාත්‍යාංශය ලැබෙන්නෙ ඔය ගැටුම අතරතුරදී. අපි බලනව කොතනද වැරැද්ද වුණේ කියලා. මහනුවර ගැටුම ඔය මට්ටමින් පාලනය කරගන්න පුළුවන් වෙච්ච එක ගැන අපි සතුටු විය යුතුයි.

l පහුගිය කාලෙ වෙච්ච අපරාධ රැසකට හමුදාව සම්බන්ධ බවට චෝදනා එල්ල වෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණවලට හමුදාවෙ සහාය නොලැබෙන බවයි කියන්නෙ?

ජනතාව හමුදාවෙන් බලාපොරොත්තු වුණේ යුද්දෙ අවසන් කරන එක. මාධ්‍යවේදීන් උස්සන එක, මරණ එක, මාධ්‍ය මර්දනය, නීති විරෝධී වැඩ හමුදාවෙන් ජනතාව කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. හමුදාවේ රාජකාරියට පිටින් වැඩ කරපු අයට විරුද්ධව චෝදනා තියෙනවනම් ඒවට පරීක්ෂණ කරනවා. මේ පරීක්ෂණ කරනකොට යුද්දෙ දිනපු අයට විරුද්ධව කටයුතු කරනවා කියල මාධ්‍යම කෑගහනවා. ඒ ගැන මම කණගාටුවෙනවා . යුද්දෙ දිනපු හමුදාවෙ අයට එරෙහිව අපි කටයුතු කරන්නෙ නැහැ. වැරදි කරපු අයට විරුද්ධව කටයුතු කරනවා. මාධ්‍ය මොකද කරන්නෙ. අපිට විරුද්ධව කෑගහනවා. ඇයි මාධ්‍ය මේ ගැන හිතන්නෙ නැත්තෙ.

l හමුදාවට එරෙහිව කෙරෙන පරීක්ෂණවලට අදාළ තොරතුරු අධිකරණයට දෙන්නෙ නැහැ කියලයි චෝදනාව තියෙන්නෙ?

මම ඒක පිළිගන්නවා. සමහර තැන්වල එවැනි ගැටලු තියෙනවා. ඒව විසඳන්න දැන් අපි කටයුතු කරනවා. කවුරු වුණත් අධිකරණයට තොරතුරු දෙන්න ඕන. යහපාලනය ගෙනාපු ‍ජනතාව ඉල්ලුවෙ නීතියෙ සාධාරණත්වය.

l සම්මුති ආණ්ඩුවට මොකද වෙන්නෙ?

එ.ජා.පක්ෂය තමයි මේ ආණ්ඩුවට ලොකුම කැපකිරීම කළේ. ජනාධිපතිට ඡන්දෙ නොදීපු, ආණ්ඩුව පිහිටුවන්න උදව් නොකරපු පිරිසක් එක්ක අපි සම්මුතියකට ආවා. ඒ අය ආණ්ඩුව ඇතුළට ඇවිල්ල ඒක විනාශ කළා. හැමදාම ආණ්ඩුවට බැන්නා. අගමැතිට එරෙහි විශ්වාසභංගයට උදව් කරපු අය යහපාලන ආණ්ඩුවෙ නොසිටිය යුතුයි. කැබිනට් මණ්ඩලයෙ සාමූහිකත්වය ආරක්ෂා කරන්න අපි බැඳිල ඉන්නවා.

l මේ කාරණය සමඟ ආණ්ඩුවෙ තුනෙන් දෙකේ බලය නැතිවෙනවා. එතකොට ජනතාවට දීපු පොරොන්දුවලට මොකද වෙන්නෙ?

ශ්‍රී.ල.නි.පක්ෂයෙ අය අපට උදව් කිරීමත් එක්ක තමයි තුනෙන් දෙකේ බලය එ‍න්නෙ. අපි ජනතාවට දුන්නු පොරොන්දු කීපයක් ඉටුකරන තොරතුරු පනත, කොමිෂන් සභා ව්‍යවස්ථා සංශෝධනය මේව වැදගත් කාරණා. විගණන පනත අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ආණ්ඩුවෙ ඉඳිද්දි පෙනී හිටියනම් විපක්ෂයෙ හිටියත් ඡන්දෙ දෙන්න පුළුවන් වෙන්න ඕන. ජනතාව වෙනුවෙන් අපි තීන්දු ගන්නෙ.

l රාජ්‍ය පරිපාලනය බිඳවැටී ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා කරනවා?

රාජ්‍ය අංශය දේශපාලනයෙන් නිදහස් කරල ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දුන්නා. පහුගිය ආණ්ඩුව, රජයෙ නිලධාරින් බය කරල තුවක්කු බටේ පෙන්නල, සුදුවෑන් ගෙනල්ල තමයි පාලනය කළේ. රජයේ නිලධාරීන්ගෙ අත්සන හොරට ගහල හොරකං කළා. අපි සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය රජයේ නිලධාරීන්ට දීල තියෙන්නෙ.

l ඔබ එහෙම කිව්වට, ගෝඨාභය රාජපක්ෂ මහත්තය නම් කියන්නෙ රාජ්‍ය සේවකයින් බිය වද්දල දක්ෂයන්ව ඉවත් කරල කියලයි?

අවුරුදු 60 නම් රාජ්‍ය සේවයෙ කවුරුත් යන්න ඕන. ඒක තමයි ප්‍රතිපත්තිය. මේ වගේ වැරදි ප්‍රකාශ කිරීම ගැන මම කණගාටු වෙනවා. හොරකම්වලට අනුබල දුන්න අයට, හොරකම් කරපු අයට අධිකරණයෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තම ඒ නිලධාරියගෙ වැඩ තහනම් වෙනවා. ඒක රටේ නීතිය.

l පාතාලය, කුඩු ජාවාරම රටේ ඉහළ ගිහින්, මේව පාලනය කරන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ කියලයි කියන්නෙ?

මේ මරාගන්නෙ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. කුඩු හා පාතාල කල්ලි තමයි ඔය මරා ගන්නෙ. ඕක අද ඊයෙ තත්ත්වයක් නෙවෙයි. හැමදාම තිබුණා. පහුගිය ආණ්ඩුව කාලෙ ඕනතරම් තිබුණා. අපි පහුගිය කාලෙ විශාල පිරිසක් අත්අඩංගුවට ගත්ත. කුඩුවලට සම්බන්ධ මැති ඇමැතිවරු පහුගිය ආණ්ඩුවෙ හිටිය. මේ ආණ්ඩුවෙ එහෙම අය නැහැ.

l පොලිස් කොමිසම දේශපාලනඥයන්ගෙ අත්අඩංගුවට ගිහින් නේද?

පොලිස් කොමිසමේ කාවත් අපි අයින් කරලත් නැහැ. පොලිස් කොමිසමේ, අමාත්‍යාංශයෙ, පොලිස්පතිගෙ රාජකාරිය මොකක්ද කියල හදා, බෙදාගන්න බැරි තත්ත්වයට පහුගිය කාලෙ පත්වුණා. රාජ්‍ය පරිපාලනයෙ, කොමිෂන් සභා හොඳට කටයුතු කරනවා.

l ආනන්ද අලුත්ගමගේ, පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරුන්ගෙ සිද්ධිවලදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සේවා මාරුවීම් දෙන්නෙ බලපෑමක් නැතුවද?

ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයගෙ සිද්ධියෙදී පොලිස් ස්ථානාධිපතිවරයා අපෙන් ඉල්ලීමක් කළා ස්ථාන මාරුවකට. ඒක අපි දුන්න. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයගෙ සිද්ධියට අදාළව වුණේ ඒ පොලිස් ස්ථානාධිපතිවරයා කාලයක් එම ස්ථානයේ සේවය කළා. ඒක සාමාන්‍ය ස්ථාන මාරුවක්.

l එ.ජා.පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ගැන මොකද කියන්නෙ?

එදා ඉඳලම මම හිටියෙ පක්ෂයට ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි කියල. අදත් මම ඒ මතයෙ ඉන්නවා. දැන් ඒකට කොමිටියක් පත් කරල තියෙන්නෙ. ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි.

l මීට පෙරත් ඔය කමිටු පත් කළා. නායකත්ව වෙනසක් ඉල්ලුවාම කමිටු පත්කරල වැඩක් නැහැ කියල එ.ජා.පක්ෂයෙ කට්ටියක් කියනවා?

මේ අගමැතිවරයගෙ කාලසීමාව අවසන් වෙනකන් ඉන්න ඕන කියන මතයෙ අපි ඉන්නවා. නමුත්, ඊළඟ මැතිවරණයට කවුද අපි ඉදිරිපත් කරන්නෙ කියන තීන්දුව ගන්න ඕනා. මෙතුමව ඉදිරිපත් කරනවද වෙනත් කෙනෙක් ඉදිරිපත් කරනවද තවම තීරණයක් නැහැ. කොහොම වුණත් අපේක්ෂකය එ.ජා.පක්ෂයෙන් වෙන්න ඕනා.

l රනිල්ගෙ රෙජීමය ගෙදර යවනකම් යූ.එන්.පීයට ඔළුව උස්සන්න බැහැ කියලයි කියන්නෙ?

අපි බලන්න ඕන මැතිවරණය කිට්ටු වෙනකොට තත්ත්වය. කවුද හොඳම අපේක්ෂකය කියල. පහුගිය මැතිවරණයට මෛත්‍රීපාල මහත්තය ඉදිරිපත් කරන බව දැනගත්තේ සතියකට කලින්. හැබැයි මම දරන මතය ඊළඟ අපේක්ෂකය එ.ජා.පක්ෂයෙන් වෙන්න ඕන.

l පළාත් පාලන මැතිවරණය එ.ජා.පක්ෂය පරදින්නෙ තනි බලයක් ඉල්ලන්න ගිහින්. ඊළඟ මැතිවරණයට තනියම ගියොත් මොකද වෙන්නෙ?

එ.ජා.පක්ෂයටත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ මැතිවරණයෙදී ජනතාව පණිවුඩයක් දුන්නා. මම කියන්නෙ පොදු අපේක්ෂකයෙක් නම් ඔහු එ.ජා.පක්ෂයෙන් වෙන්න ඕන.

l මාස හයකින් අගමැතිවරයට ආයෙත් විශ්වාසභංගයක් එයිද?

ඒක විපක්ෂයෙන් අහන්න ඕන.

l එ.ජා.පක්ෂ මන්ත්‍රීවරු 24 දෙනෙක් ඒ මතයට එකඟවෙලා තියෙන බවක් කියනවා?

ඔය කියන ගණන් හිලව් සියල්ල සත්‍ය නෙවෙයිනෙ. එක එක කතා කියනවා. හරියට ප්‍රතිසංවිධානය නොවුණොත් ගාන කොහොම වෙයිද දන්නෙ නැහැ.

l එ.ජා.පක්ෂයෙ සාමාජිකයන්ගෙ අ‍ඳෝනාවලට, ඇහුම්කන් දෙන්නෙ නැහැ කියල චෝදනාවක් එල්ල වෙනවා.?

මේ ආණ්ඩුවට ඒ අ‍ඳෝනාවලට හරි උත්තරයක් දෙන්න බැරි වුණා. මේක සම්මුතිවාදී ආණ්ඩුවක්. මම නම් හිතන්නෙ ඔවුන්ගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න තනි ආණ්ඩුවක් ඕන.

l සේවක වර්ජන දිගින් දිගටම එනවා. ඒව විසඳනවා වෙනුවට ආණ්ඩුව කල්මැරීමක් නේද කරන්නෙ.

රාජ්‍ය සේවකයා මීට වඩා රට ගැන හිතන්න ඕන. ඉල්ලපු පඩි වැඩිවීම් ඔක්කොම දුන්නා. රුපියල් දස දහසකින් පඩි වැඩි කළේ. මේ ආණ්ඩුව විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කළා. දීමනා රැසක් දුන්නා. තව වැඩි කරන්න ගියොත් ජනතාවට වැඩියෙන් බදු ගහන්නයි වෙන්නෙ. වැඩි හරියක් වර්ජන කරන්නෙ වැඩියෙන් පඩි ගන්න ආයතනවල අය. ඒ අය වෘත්තීය අයිතිවාසිකම් නෙවෙයි ඉල්ලන්නෙ. පඩිය වැඩිකර ගැනීම තමයි එකම අරමුණ. ලක්ෂ 15ක රජයේ සේවකයන් ප්‍රමාණයක් ඉන්නවා.

සංවාදය-දුමින්ද සම්පත්
ඡායාරූප-වාසිත පටබැඳිගේ 


නව අදහස දක්වන්න

Or log in with...