ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි | දිනමිණ

ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වනවිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙත ළඟා වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
 
“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වනු ඇත.
 
අද(16) සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිතුමාගේ නිල සංචාරය තුළදී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට ද නියමිත අතර, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් කිහිප පළක් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
 
මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට අමතරව ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතව තිබෙන අතර, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමා වෙත ඇරයුම් ලැබී තිබේ.
 
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද සහභාගීවන ජනාධිපතිතුමා ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එක්වනු ඇත.

නව අදහස දක්වන්න