ශ්‍රීලනිප-එජාප අවබෝධතා ගිවිසුමක් | දිනමිණ

ශ්‍රීලනිප-එජාප අවබෝධතා ගිවිසුමක්

දිස්නා මුදලිගේ

රජයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඉදිරි මාස 18 තුළ පක්ෂ දෙක එකතුව රජය පවත්වාගෙන යාම සඳහා පොදු වැඩසටහනක් අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයේ අමාත්‍යවරුන් සාකච්ඡාවලට එළැඹ ඇති බව ද දිසානායක මහතා පැවැසීය. මැයි 8 වැනිදා ආරම්භ වීමට නියමිත නව පාර්ලිමේන්තු සැසි වාරයේදී මෙම නව වැඩසටහන ඉදිරිපත් කෙරේ.

මෙය රටට ඉතා වැදගත් හා ශක්තිමත් ප්‍රතිඵලදායක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය. පක්ෂ දෙකේ අනුමැතිය ලද වහාම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන බව ද කැබිනට් සංශෝධනයෙන් පසුව අමාත්‍යංශවල විෂයයන් ක්‍රමානුකූලව වෙනස් වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අතර අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මැයි 8 වැනිදා සම්ප්‍රදායානුකූලව රැස් වෙන බව කතානායකවරයාගේ මාධ්‍ය ලේකම් චමින්ද ගමගේ මහතා තහවුරු කළේය.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය. නව සැසිවාරයේදී ආංශික අධීක්ෂණ කාරක සභා සහ උසස් නිලතල කාර්යයන් පිළිබඳ කමිටු හැර කෝප්, කෝපා කමිටු ඇතුළු අනෙකුත් සියලු පාර්ලිමේන්තු කමිටු අහෝසි වන අතර ඒවායේ සාමාජිකයන් හා සභාපතිවරුන් නැවත පත් කළ යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා පැවසීය.

සියලුම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ පනත්, ප්‍රශ්න සඳහා වාචික පිළිතුරු නැවත ඉදිරිපත් කළ යුතු බව ද විවාදයට ලක් වුවද මෙතෙක් සම්මත නොවුණු පනත් ඉදිරි සැසිවාරය දක්වා යොමු කෙරෙන බව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු, නියෝජ්‍ය ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු 15 දෙනකු ධූරවලින් ඉවත් වීම නිසා නව සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන වෙනස් වන බව ද ඒ මහතා කීවේය.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් අදාළ අංශවලට ලැබී නොමැති බවත් ඒ මහතා පැවැසීය. 

නව අදහස දක්වන්න