යලට පොහොර හිඟයකින් තොරව | දිනමිණ

යලට පොහොර හිඟයකින් තොරව

මානෙල් පුෂ්ප කුමාරි

මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කෙළේ ය.

මේ කන්නය සඳහා පොහොර මෙට්‍රික් ටොන් 137738 ක් පොහොර ගබඩාවලට ලබාදී ඇති බවත් ඇමැතිවරයා පැවසීය. පොහොර සහනාධාරය පිළිබඳව රාජගිරිය , ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ ය. වී ගොවීන් සඳහා රුපියල් 500 කට පොහොර මිටියක් ලබාදීමටත් අතිරේක භෝග සඳහා රුපියල් 1500 කට පෙහොර මිටියක් ලබා දීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් කී අමාත්‍යවරයා මේ වන විට ඉදිරි කන්න සඳහා ද පොහොර ඇණවුම් කර ඇති බව ද කීය.

මේ වැඩසටහන යටතේ වී ගොවිතැන සඳහා යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී.) හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී.) පොහොර කිලෝග්‍රෑම් 50 ක් රුපියල් 500 බැගින් ද වී ගොවියාට සැපයීමට කටයුතු කරනු ඇත. පොහොර සපයා ගැනීමේ දී හා බෙදාහැරීමේ දී ප්‍රමාදයන් හා දුෂ්කරතාවන් වළක්වා ගැනීම සඳහාත් ගොවිජන සේවා මධ්‍යස්ථාන ගබඩාවේ දී කිලෝග්‍රෑම් 50 ක පෙහොර මිටියක් රුපියල් 500 ට අලෙවි කිරීම තහවුරු කිරීමට පොහොර බෙදාහැරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අදාළ සියලු පාර්ශවයන් මනා අවබෝධයකින් හා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරනු ඇතැයි ද ඇමැති දුමින්ද දිසානායක මහතා මෙහිදී කියා සිටියේ ය.

වැඩි මිලට පොහොර විකුණන වෙළෙඳුන් පිළිබඳ ව 011-3036666 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසත් පොහොර ලබා ගැනීමෙන් පසු ඒ සඳහා ලදුපතක් ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටින අතර අධික මිලට පොහොර විකුණ වෙළෙඳුන් සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවත් පැවසීය. 

නව අදහස දක්වන්න