ආණ්ඩුවට අටවන උගුල් | දිනමිණ

ආණ්ඩුවට අටවන උගුල්

 අලුත් අවුරුද්දට පෙර අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්වනු ඇති බව ප්‍රකාශ වී තිබුණද එය කල් දමා ඇති බව පෙනෙන්නට තිබේ. කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගිය ඇමැතිවරුන් හයදෙනාගේ විෂයයන් වෙනත් ඇමැතිවරුන් හතරදෙනකුට පවරා ඇත්තේ තාවකාලික පදනමින් බව වාර්තා විය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභා වාරය කල් තබන ලද්දේ නව දේශපාලන පෙළගැස්ම සඳහා කාලය ලබාගැනීමට බවද පෙනෙන්නට ඇත. ලන්ඩනයේ පැවැත්වෙන පොදුරද මඩුල්ලේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී පැමිණීමෙන් පසුව ජනාධිපතිවරයාට බොහෝ තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇත.

නව ආණ්ඩුවක් නැතහොත් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැතහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මත දෙකක් පළ වී ඇත. එම පක්ෂවල මහලේකම්වරුන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ වී ඇත්තේ එකම මතයකි. ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය හා එජාපය අතර නව සම්මුතියක් ඇතිකර ගැනීම මගින් ආණ්ඩුව ඉදිරියට කරගෙන යන බවයි. සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට ඇත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් මැති ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු නැති බවයි. තනතුරුවලින් ඉවත්වූවද ඔවුනට ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කළ හැකි බව ඒ මහතාගේ අදහසයි.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇමැති තනතුරුවලින් ඉවත් වූ කණ්ඩායමේ හිටපු මැති ඇමැතිවරුන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ වෙනත් අදහසකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැති එම පුවත්පත් සාකච්ඡාවේදී ඔවුන් ප්‍රකාශ කළේ තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ඇති එජාපයට හා රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් කරගෙන යාමට ඉඩදිය යුතුය යන්න එම කණ්ඩායමේ අදහසයි. කෙසේ වෙතත් එම කණ්ඩායමද කීවේ පක්ෂයක් වශයෙන් එකට සිට එක තීන්දුවක් ගත යුතු බවයි.

ජනතා අප්‍රසාදයට බියවීම

එහිදී කියැවුණේ වසර දෙකකට අත්සන් කළ සන්ධාන ගිවිසුමේ කාලය ඉවත්වී ඇති බව මෙන්ම සන්ධාන ආණ්ඩුව අසාර්ථකවී ඇති බවයි. දයාසිරි ජයසේකර මහතා කීවේ තවදුරටත් මේ ආණ්ඩුවේ සිටියහොත් පළාත් පාලන ඡන්දයේදී තමන්ට ලැබුණු දහතුන් ලක්ෂ‍ෙය් ඡන්ද ප්‍රමාණය ඉදිරි ඡන්දවලදී ලක්ෂ දෙක තුනකට පහත වැටෙනු ඇති බවයි. ඔහු කීවේ තවදුරටත් ආණ්ඩුවේ රැ‍ඳෙමින් ජනතා අප්‍රසාදයට පත්වනවා වෙනුවට ආණ්ඩුවෙන් ඉවත්වී ජනතා ප්‍රසාදය ලබාගත යුතු බවයි. මෙම පුවත්පත් සාකච්ඡාවේදී වැඩිදුරටත් කියැවුණේ එජාපය හා එක්ව යාමට සූදානම් පිරිසක් ශ්‍රීලනිපයේ සිටින බවත් එම පිරිසට එජාපය හා එක්ව ආණ්ඩු කිරීමට හැකි බවත්ය.

ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම ගැන එක්සත් ජාතික පක්ෂයේද මත දෙකක් ප්‍රකාශයට පත්වී ඇත. පක්ෂයේ පසුපෙළ කණ්ඩායමක් කීවේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය බවයි. කෙසේ වෙතත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිගටම කීවේ සන්ධාන ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතු බවයි. ජනාධිපති බලය හෑල්ලු නොකර කිසියම් සම්මුතියක් ගොඩනගා ගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බව වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කීවේ ශ්‍රීලනිප කණ්ඩායමක් ඉවත්වන්නේ නම් එජාපය සමඟ ඉදිරියට යාමට කැමැති පිරිස සමඟ නව ආණ්ඩුවක් ගොඩනගන බවයි.

ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් පිරිසක් රජයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමෙන් පසුවය. ඔවුන්ට පෙනී ගොස් තිබුණේ තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ ‍බරපතළ ප්‍රශ්නයක් මතුවී ඇති බවයි. ආණ්ඩුවේ ඇමැතිකම් කරමින් සිට නල්ලතන්නියේදී පොහොට්ටුව කණ්ඩායම් සමඟ එකතු වන්නට බලා සිටි අයට පෙනී ගියේ පොහොට්ටු කණ්ඩායම තමන් එනතුරු නොසිට ඔවුන්ගේ වන්දනාවේ යන බවයි. තමන් අතරමංව සිටින බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කොට නව ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවද මුලින්ම මතුවූයේ මෙම කණ්ඩායමෙන් බව දේශපාලනය ගැන අවධානයෙන් සිටි කවුරුත් දන්නා කාරණයකි. එහි ප්‍රතිඵලය වූයේ විශාල දේශපාලන ව්‍යාකූලතාවක් නිර්මාණයවීමයි. කෙසේ වෙතත් දැන් ඔවුන්ගේ එක් වුවමනාවක් ඉටුවී ඇත. එනම් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමයි. අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් මෙම පිරිස කීවේ පොහොට්ටුවේ සිටින්නේ තම ලේ ඥාතින් බවයි. මෙම පිරිස අනාගත දේශපාලන ගමන යන්න හදන්නේ කා සමගද යන්න එයින් පැහැදිලිය.

මෙම කණ්ඩායමට කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එතරම් පහසුවන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ සභාපතිය. නැතහොත් නායකයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍යයෙත් ආණ්ඩුවෙත් නායකයා වන්නේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා තනිකර දමා ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයක් ගැනීම ශ්‍රීලනිපයට පහසු කටයුත්තක් වන්නේ නැත. ජනාධිපතිතුමාද එබඳු තීරණයකට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකිය. ඉඩදෙන්නේ නම් එසේ කරන්නේ නොකර බැරි තැනකට වැටුණොත් පමණකි.

ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව කියන කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරයා තනිකිරීම වීමටද බැරි නැත. මොවුන් මතුපිටින් පෙන්වන්නේ තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දිගටම දේශපාලනය කරන බවයි. ඇතැම්විට එසේ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු කණ්ඩායම තමන් භාරගන්නට දැන් ඉදිරිපත් නොවන නිසා විය හැකිය. පොහොට්ටුවේ දිගටම සිටි පිරිස ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් සිට මැතිවරණ පරාජයෙන් පසුව පැමිණෙන මෙම පිරිස ඉහළින් පිළිගන්නට සූදානම් නැති බවද පෙනෙන්නට ඇත.

අනෙක් අතට මොවුන් දැන් අඩු වැඩි වශයෙන් මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ වුවමනාවන් ඉටුකරමින් සිටිනවාද විය හැකිය. ඒ තමන්ගේ අනාගතය හදාගන්නටය. එතන ඉන්නෙත් තමන්ගේ ලේ නෑයෝ කියාගෙන මේ යන ගමන යන්නේ ඒ සඳහාවීමට බැරි නැත. ජනාධිපතිතුමා සමඟ සිටිනවා කීවද තනිකිරීමේ තීරණයකට ශ්‍රීලනිපය තල්ලු කරන්නට මේ පිරිස උත්සාහ දරන්නේ ඒ නිසාද විය හැකිය. ජනාධිපතිතුමාද මෙම කරුණු හොඳින් කිරා මැන බලන බවට සැකයක් නැත.

අමාරුවේ දාන උත්සාහය

සන්ධාන ආණ්ඩුව බිඳ දැමීමේ අනෙක් අරමුණක් විය හැක්කේ එජාපයත් ඒ සමඟ එක්වන ශ්‍රීලනිප කණ්ඩායමත් යම් අර්බුදයකට ඇද දැමීමයි. එනම් කැබිනට් ඇමැති සංඛ්‍යාව අඩුවීමේ අර්බුදයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස්දෙනෙකුට සීමාවිය යුතුය. එය හතළිස් පහ දක්වා වැඩි කළ හැක්කේ ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යන විටදීය. එනම් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩු කරනවිටය. මෙම පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ දෙක ලෙස සිටින්නේ එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එම පක්ෂ දෙක එක්ව ආණ්ඩු කරන නිසා ඇමැතිවරු හතළිස් පහක් පත්ව සිටියෝය. ඉන් හයක් ඉවත්වූවද තවත් තිස්නවයක් ඉතිරිය. දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය වැනි එජනිස ඇමැතිවරුද ඒ අතර වෙති.

රජයෙන් ඉවත්වීමට බලකරන දහසයදෙනාගේ කණ්ඩායමේ උත්සාහය සාර්ථකවී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒ සමඟ සිටින පක්ෂවලට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවුවහොත් ඇමැති මණ්ඩලය තිහකට සීමා කිරීමට ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සිදුවෙයි. එහි ප්‍රතිඵලය වන්නේ දැනට සිටින තවත් කැබිනට් ඇමැතිවරුන් පිරිසකට ඇමැතිකම් අහිමිවීමයි. එවිට ආණ්ඩුවට සම්බන්ධ වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ටත් ඇමැතිකම් දෙන්නට වන්නේ එජාපයේ පිරිසකට තනතුරු අහිමි කරමිනි. එයට එජාප මන්ත්‍රීවරුන් කැමැතිවන්නේ නැත. ඇමැතිකම් නැතිව ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද කැමැතිවන්නේ නැත. දහසයේ කණ්ඩායමේ උත්සාහය ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ උගුලට තල්ලුකිරීම විය හැකිය.

ෙල්කම්වරුන්ෙග් ඉරණම

මේ කණ්ඩායම තැන තැන ප්‍රකාශකොට තිබුණේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් ගෙන දුමින්ද දිසානායක මහතා හා මහින්ද අමරවීර මහතා මහලේකම් තනතුරුවලින් ඉවත්කරන බවයි. වෙනත් දෙදෙනකු ඒ සඳහා පත්කරගන්නා බවයි. කෙසේ වෙතත් එයට ඉඩ නොලැබෙනු ඇත්තේ එම තනතුරු පත්කිරීමේ බලය පක්ෂ ව්‍යවස්ථාව අනුව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව වීම නිසාය. එබැවින් එම තනතුරුවල වෙනසක් සිදුවීමට එතරම් ඉඩක් නැත. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ඇත්තේද එතැනය.

රජයෙන් ඉවත්විය යුතු බව කියන දහසය දෙනාගේ කණ්ඩායම කුමක් කීවද එම තීරණය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ගැනීමද එතරම් පහසු නැත. මේ කණ්ඩායම කියන ගණන් හිලව් ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. විශ්වාසභංග යෝජනාව ගැන මොවුන් කීවේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඡන්ද තිබෙන බවකි. අන්තිමේ පරාජය සිදුවූවේ 122 ට 76 ක් වශයෙනි. දැන් ඔවුහු දිනා සිටි හැටි හා පැරදුණු හැටි ගැන ජනතාවට කියා දෙති. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ යෝජනා සම්මත කිරීමට නොහැකිවීම ගැනද පසු දවසක මොවුන්ගෙන් දැනගත හැකිවීමට ඉඩ ඇත. එමෙන්ම එම තීන්දු තීරණ ගැන එතරම් බරපතළ ලෙස සිතිය යුතු නැත.

ජනාධිපතිතුමා මේ මොහොතේ උත්සාහ කරන බව පෙනෙන්නේ ශ්‍රීලනිපය නොබෙදී තබාගන්නා අතරම සම්මුති ආණ්ඩුවද පවත්වාගෙන යාමයි. තමා රාජ්‍ය නායකයාව සිටියදී ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩදී එජාපය සමඟ ආණ්ඩුව කරගෙන යෑමට ජනාධිපතිතුමා කිසිසේත් සූදානම් නොවන බව පැහැදිලි කාරණයකි. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව බොහෝවිට තීරණ ගනු ඇත්තේ ජනාධිපතිතුමාගේ මෙම වුවමනාව සැලකිල්ලට ගනිමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද තවත් වසර එක හමාරක් කටයුතු කරන්නට සිදුවන්නේ මෙම ජනාධිපතිතුමා සමඟය. බලගතු තනතුරක් වන ජනාධිපති ධුරයේ බලතල ආණ්ඩුකර‍ණයේදී තීරණාත්මකය. අනෙක් අතට බලයේ සිටින ආණ්ඩුවකට දුෂ්කර තීරණ ගැනීමට සිදුවෙයි. එබඳු අවස්ථාවලට මුහුණදීමට ආණ්ඩුවෙ එක්සත්භාවය වැදගත්ය. එබැවින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ එජාපය හෝ තනි ආණ්ඩුවක් ගොඩනැගීමට මේ මොහොතේ උත්සාහ නොදරනු ඇත.

මේ සියල්ලෙන් පෙනෙන්නේ ඉදිරි සති කිහිපයේදී මෙරට බිහිවීමට නියමිත අලුත් ආණ්ඩුවද තවත් සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි. එහිදී ප්‍රධාන පක්ෂ දෙකට තමන් ඉදිරි කාලයේ ආණ්ඩුකරන ආකාරය ගැන නව සම්මුතියක් ඇතිකර ගැනීමට සිදුවනු ඇත. ඇත්ත අභියෝගය ඇත්තේ එතැනය.

දෙපාර්ශ්වයම තේරුම් ගත යුතු කරුණක් වී ඇත්තේ කකුල් දෙකෙන් දෙපැත්තට යාමේ හැකියාවක් නැති බවයි. එනම් තමන්ගේ ආණ්ඩුවේ ඉදිරි කාලය දෙපාර්ශ්වයේ සම්මුතියකින් සිදුවිය යුතු බවයි. එහිදී ලාභ ජනප්‍රියත්වය ගැන සිතා ජනතාව කෙටිකාලීනව සතුටුකිරීමට කටයුතු නොකොට ජනතාවගේ ඉදිරි යහපත සලකා ක්‍රියාකිරීමේ වැඩපිළිවෙළකට එකඟත්වය ඇතිකර ගැනීම වැදගත්ය. සැබැවින්ම සාර්ථකව සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනගා පවත්වාගෙන යා හැකි වන්නේ එවිටය. රටේ නායකයන් දෙදෙනාට එම හැකියාව හා වුවමනාව ඇතැයි අපි සිතමු.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න