ටීචර් හා ටියුෂන් | දිනමිණ

ටීචර් හා ටියුෂන්

පාසල් කාලය තුළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මුළුමනින් ම තහනම් කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටී. තහනමට අදාළ කැබිනට් අනුමැතිය ලබන සතියේ ලබාගැනීමට යන බවද දැනගන්නට ලැබේ. පාසල් කාලය යන්නෙන් අදහස් වන්නේ පාසල් පවත්වන දිනයන්හි පෙ.ව. 7.30 සිට ප.ව.1.30 දක්වා කාලය යි. මේ කාලය තුළ උපකාරක පන්ති පැවැත්වෙන විට පාසල් නොයා ටියුෂන් පන්තියට යන ශිෂ්‍යයෝ ද සිටිති. තත්ත්වය දිගට ම පවතින්නේ නම්; නිදහස් අධ්‍යාපනය හා එහි පරමාර්ථ ද වැඩිකල් නොයාම අහෝසි වී යනු ඇත. කෙසේ වුව අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ වැදගත් ය.

උපකාරක පන්ති යැයි කියූ කල එය සංකීර්ණ පද්ධතියක් බව කිව යුතුය. මේ වන විට පාසල්වල උගන්වන ඕනෑම විෂයයකට උපකාරක පන්ති පැවැත්වේ. ළදරු අධ්‍යාපනයේ සිට පහවසර ශිෂ්‍යත්වය හරහා දහතුන වසර තෙක් සියලු පන්ති ආවරණය වන සේ උපකාරක පන්ති පැවැත්වේ. නම ගිය ටියුෂන් ගුරුවරු වෙන ම සිටිති. ඔව්හු එය ව්‍යාපාරයක් ලෙස කරගෙන යති. මේ හැරෙන්නට පාසල් ගුරුවරු ද උපකාරක පන්ති කරගෙන යති. ඔවුන් තම ශිෂ්‍යයන්ට බලපෑම් කරමින් සිය උපකාරක පන්තිවලට ගෙන්වාගන්නා බවට චෝදනා ද ලැබී තිබේ. ඇතැම් පාසල් ගුරුවරු විෂය නිර්දේශයේ කොටසක් පාසලේ ද තව කොටසක් ටියුෂන් පන්තියේද උගන්වති. මේ ගැන ද චෝදනා රැසක් ඇති බව අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉගැන්වීම වෘත්තියක් ද? ව්‍යාපාරයක් ද? නැතහොත් සමාජ වගකීමක් ද? මීට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි වුව නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථ ඉටුවීමට නම්; ඉගැන්වීම සමාජ වගකීමක් ලෙස පැවැතිය යුතුය. ශ්‍රී ලංකාවේ අතීත අධ්‍යාපන සම්ප්‍රදාය ගොඩනැඟුණේ ද නූතන පාසල් අධ්‍යාපනය ගොඩනැඟුණේ ද ඉගැන්වීම සමාජ වගකීමක් හැටියට සලකමින් ය. ඒ අනුව ගුරුවරයා යනු මුදල් හම්බකරන්නකු නොව සමාජ සේවකයකු හා සමාජ නායකයකු ලෙස සැලකිය හැකි ගෞරවනීය පුද්ගලයකු බව පිළිගැනිණි. ගුරුවරයා උපදේශකයකු පමණක් නොව; සමාජයේ ගමන්මඟ තීන්දු කරන්නකු ලෙස ද සැලැකිණි. ඒ අනුව පාදඩ සමාජය පවා ගුරුවරයා ඉදිරියේ හිස නැමූහ. එහෙත් අද වනවිට එම තත්ත්වය කෙලෙසී ඇත.

අතීතයේ නම් සාමාන්‍ය ගුරුවරයා ද, විදුහල්පතිවරයා ද ගමක්, ප්‍රදේශයක්, පළාතක් හදන ආදර්ශවත් නායකයන් හැටියට සැලකිණි. මේ ගෞරවයට හේතුව ඔවුන්ගේ අනන්ත කැපවීම යැයි කියන්නට පුළුවන. ඒ අතීත පාසල් ගුරුවරු පාසල් කාලයෙන් පසු ශිෂ්‍යයන් එහිම රඳවාගෙන උපකාරක පන්ති පැවැත්වූහ. එහෙත් ඔවුන් කිසිදු දරුවකුගෙන් ශත පහක දීමනාවක් ගත්තේ නැත. සමහර ගුරුවරුන් තම නිවසින් රැගෙන එන බත්මුල ලිහාගෙන සප්පායම් වී උපකාරක පන්ති පැවැත් වූ බව බොහෝ දෙනකුට මතක ඇත. ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීමක් සිදු කිරීම කෙතරම් යහපත් ක්‍රියාවක් ද? අද එබඳු තත්ත්වයක් කිසිදු පාසලක දකින්නට නැත.

පාසල් විෂය මාලාවන් සඳහා ද ප්‍රසිද්ධ විභාග සඳහා ද උපකාරක පන්ති ආරම්භ වූයේ හැත්තෑ ගණන්වල ය. එදා ටියුෂන් ගුරුවරයා ව්‍යාපාරික මට්ටමින් මෙය සිදු කළේ නැත. දරුවන් විභාගවලට සූදානම්කොට කරුණු කියා දී ඒ සඳහා සුළු මුදලක් අයකිරීම එදා සම්ප්‍රදාය වී තිබිණි. දුප්පත් සිසුනට නොමිලේම උගන්වන ගුරුවරු ද සිටි‍යෝය. එහෙත් මේ ක්‍රමය වැඩිකල් පැවැතියේ නැත. තාක්ෂණය දියුණු විය. යටිතල පහසුකම් දියුණු විය. අද වන විට එක උපකාරක පන්තියක දහසකට වැඩි ශිෂ්‍ය පිරිසක් සිටිති. එක ම ගුරුවරයා එක ම දිනයේ නගර කිහිපයක ඉගැන්වීමෙහි නිරත වෙයි. ඉගැන්වීම ද යන්ත්‍රානුසාර ය. එක මසක් තුළ රටේ ටියුෂන් කඩ අතර ගනුදෙනු වන මුදල් ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවා සිටින බව ද තහවුරු වී තිබේ. ඒ අනුව ටියුෂන් යනු දැවැන්ත ව්‍යාපාරයකි.

ටියුෂන්වලින් බැහැර වන්නැ’යි ශිෂ්‍ය පරපුරට ආඥා නිකුත් කිරීමේ හැකියාවක් නැත. ඇතැම් ශිෂ්‍යයකු විභාග සමත් වනුයේ තනිකර ම ටියුෂන් පන්තියේ පිහිටෙන් ය. එය බොරු කළ නොහැකි ය. මුළුමනින් ම ටියුෂන් තහනම් කිරීමේ හැකියාවක් කිසිදු රාජ්‍යයකට නැත. එය ඇතැම් රටවල අධ්‍යාපනයේ ප්‍රධාන කාරකයා බවට පත් ව තිබේ. ශ්‍රී ලංකාවේ ද දසක තුනක් පුරාවට ව්‍යාප්ත වූ උපකාරක පන්ති සංස්කෘතියක් තිබේ. ඒ කිසිවක් තහනම් කළ නොහැකි යි. ජාතික අධ්‍යාපන ආයතනය පෙන්වා දෙන ලෙස මේ ගැටලුවට හොඳම විසැඳුම වන්නේ පෞද්ගලික පන්ති සඳහා නියාමනයක් ඇති කිරීම ය. ඒ මඟින් ඉහත ක්ෂේත්‍රයේ පවත්නා බොහෝ ගැටලු විසඳාගත හැකි බව පෙනී ගොස් තිබේ.

පාසල් කාලයෙන් පසුව පාසල් ගුරුවරුන්ට ද උපකාරක පන්ති පවත්වාගෙන යෑමේ තහනමක් නොතිබිය යුතුය. එබඳු අවස්ථාවක දී පාසල් ගුරුවරයා ශිෂ්‍යයාට බලපෑම් කරන්නකු නොවිය යුතුය. නව වැඩසටහන්වලට අනුව නවතා දැමීමට තීන්දු කර ඇත්තේ පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම ය. පාසල් ගුරුවරුන්ට නියමිත පාසල් කාලයෙන් පසු උපකාරක පන්ති පැවැත්වීමට එම පාසල් පරිශ්‍රයම යොදාගත හැකි බවටද, ඒ සඳහා සාධාරණ මුදලක් දරුවන්ගෙන් අයකිරීමට ඉඩ දිය යුතු බවට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇත. මේ ක්‍රමය මඟින් දරුවන්ගේ වියදම් අඩුකර ගත හැකි බව ද සමහරු පෙන්වා දෙති. එය සලකා බැලිය හැකි කාරණයක් වුව; නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථ සමඟ එම ක්‍රියාදාමය නොපෑහෙන බව කිව යුතුය.

කුමන පැත්තකින් බැලුවද පාසල් ගුරුවරයාට ටියුෂන් පැවැත්වීමේ අයිතියක් ඇත. එය සුදුසු පරිදි යහපත් අරමුණු මත සිදු කරන්නේ නම් ඊට ඉඩදිය යුතුය. එහෙත් පාසල් කාලය කුමන අයුරකින් හෝ ටියුෂන් සඳහා යොදැගැනීමට ඉඩදිය යුතු නැත. අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පුළුල් නිරීක්ෂණයක් සිදුකොට ඉහත තීන්දුව ගන්නට ඇතැ’යි සිතන්නට පුළුවන. මීට පෙර මෙබඳු ම තවත් යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එනම්; පොහොය දිනවල ද, ඉරිදා දිනවල ද දහම් පාසල් අධ්‍යාපනයට ඉඩ හරිමින් ටියුෂන් තහනම් කළ යුතු බවට ය. එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැත. එම යෝජනාව ද ක්‍රියාත්මක කළ යුතු යැයි මාපියෝ කියා සිටිති.

නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවන අයුරින් මේවා සංවිධාන වීම ඉතා වැදගත් ය. හේතුව රටේ දුප්පත් ජනතාවට ඇති එකම වස්තුව නිදහස් අධ්‍යාපනය වන බැවින් ය.

 


නව අදහස දක්වන්න

Or log in with...