මනිමාරන් ලාල් විජේසිරිවර්ධන කුසලානය රාහුලයට | දිනමිණ

මනිමාරන් ලාල් විජේසිරිවර්ධන කුසලානය රාහුලයට

මාතර රාහුල විද්‍යාලයත් පේදුරුතුඩුවේ හාට්ලි විද්‍යාලයත් අතර දෙවැනි වරට පැවැත්වූ සුහද ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගනිමින් මනිමාරන් - ලාල් විජේසිරිවර්ධන කුසලානය නැවතත් අත්කර ගැනීමට රාහුල විද්‍යාල පිල සමත් විය. ගිය වසරේ මාතර පැවැත්වූ පළමු තරගයේ ජයද හිමිවුයේ රාහුල විදුහලටමය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හාට්ලි විද්‍යාල පිල ලකුණු 89 කට දවා ගැනීමට රාහුල පන්දු යවන්නන් සමත් වූහ. වයි.ඩිලක්ෂණ පන්දු 54කදී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 31ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියාවූ අතර සසිත් මනුරංග කඩුලු 3ක් ද, පසිදු මධුසංක සහ සජිත රාජපක්ෂ කඩුලු 2ක බැගින්ද දවා ගත්හ.

රාහුලය කඩුලු පහක් දැවී තිබියදී ඕවර 13.4 කදී තරගය ජය ගැනීමට සමත් විය. එහි උප නායක සසිත් මනුරංග පිත්තෙන්ද දස්කම් දක්වමින් පන්දු 38 කදී හතරේ පහර නවයක් සහ එක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 51 රැස් කරමින් තම පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු යැවීමේදී එම්.නාගසුන්දරන් සහ එ.වී.තිනේශ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකාවේ උතුරු තුඩුවේ සහ දකුණු තුඩුවේ පිහිටි මෙම පාසල් දෙක අතරේ සුහදතාවය සහ මිතුදම වර්ධනය කිරීම සදහා විදුහල් දෙකේ ආදි ශිෂ්‍ය සංගම් සහ ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංවිධානයෙන් මෙම තරගය වාර්ෂිකව පැවැත්වීමට නියමිතය. මනිමාරන් හාට්ලියත්, ලාල් විජේසිරිවර්ධන රාහුලයත් නියෝජනය කර ඇති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

හාට්ලි පිල - 89 (ඕවර 38.2) වයි.ඩිලක්ෂණ 31 (සසිත් මනුරංග 15/3, පසිදු මධුසංක 15/2, සජික රාජපක්ෂ 19/2)

රාහුල පිල - 90/5 (ඕවර 13.4) සසිත් මනුරංග නොදැවී 51 (වී.තිනේශ් 2/2, එම්.නාගසුනදරන් 23/2)

මාතර ක්‍රීඩා
ප්‍රියාන් ද සිල්වා

නව අදහස දක්වන්න