අරක්කු කාලක් නොගෙ­නා­වැයි බිරි­ය සැමි­යාට පෙට්‍රල් වත්කර ගිනි තියලා | දිනමිණ

අරක්කු කාලක් නොගෙ­නා­වැයි බිරි­ය සැමි­යාට පෙට්‍රල් වත්කර ගිනි තියලා

වැඩ ඇරී සවස ගෙදර එන විට සුපුරුදු පරිදි තමාට අරක්කු කාලක් රැගෙන ආවේ නැතැයි කෝපවූ බිරියක් සැමියාගේ හිසට පෙට්‍රල් වත්කොට ගිනි තබා තුවාල සිදුකොට ඇති පුවතක් නුවරඑළිය මහ රෝහලෙන් වාර්තා වෙයි.

මේ සිදුවීමෙන් ඉනෙන් උඩ කොටස පිළිස්සීමට ලක්ව තුවාල ලබා ඇත්තේ නුවරඑළිය නගරය තුළ තිබෙන ලැයිම් පේළියක පදිංචි 40 හැවිරිදි අයෙකි. දෙදරු මවක වන 39 හැවිරිදි බිරිය මෙය සිදුකළ බව ඔහු පොලිසියට පවසා තිබිණි.

ස්ථිර රැකියාවක් නැති ඔහු තැනින් තැන ගොස් කම්කරු රැකියාව කරන අයෙකු වන අතර එයින් උපයාගන්නා මුදලින් සෑම දිනකම තම බිරියට පානය කිරීම සඳහා සවසට මත්පැන් කාලක් රැගෙන ගොස් දීම පුරුද්දක් කරගත් අයෙකි. එහෙත් මෙදින එතරම් මුදලක් උපයාගැනීමට නොහැකිවීම නිසා තමන් පමණක් මත්පැන් පානයකොට බිරියගේ අරක්කු කාල නොමැතිව හිස් අතින් නිවසට ගිය පසු ඇතිවූ බහින්බස්වීමෙන් පසුව මෙය සිදුව තිබෙන බව මූලික විමර්ශනයන්හිදී අනාවරණය වී තිබේ.

‍රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ තම බිරිය විසින් ගිනි තැබූ බව සැමියා විසින් පොලිසියට පවසා සිටියද දින කීපයකින් ප්‍රතිකාර ලබා සුව වූ පසු ඔහු ඉල්ලීම් කර ඇත්තේ තමාත්, බිරියත් මින් ඉදිරියට සාමදානයෙන් සිටින නිසා මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය නැති බවයි.

 

නුවරඑළිය සමූහ සී. මහගම

නව අදහස දක්වන්න