යාංගල්මෝදර ගුවන් පාලම සිහිනයක් විතරද? | දිනමිණ

යාංගල්මෝදර ගුවන් පාලම සිහිනයක් විතරද?

කුරුණෑගල- කොළඹ මහා මාර්ගයේ අලව්ව සහ පොල්ගහවෙල අතර පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදි 2005 අප්‍රියෙල් 27 වැනි දින පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් තවත් 36 දෙනෙකුට බරපතල තුවාල සිදු කළ දුම්රිය- බස් අනතුර සිදුවී වසර 13 ක් ගතවී ඇතත් ඒ දිනවල මෙම ස්ථානයේ ගුවන් පාලමක් ඉදිකරන බවට බලධාරීන් දුන් ප්‍රතිඥාව මෙතෙක් ඉටු නොකිරීම නිසා එදා මෙම මාරක අනතුර සියැසින් දුටු ප්‍ර දේශවාසීහු දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටිති.

තුවාල සිදුවූ පිරිස අතර සදාකාලික ආබාධ තත්ත්වයට පත්වූවෝද වෙති.

2016 අප්‍රියෙල් 4 වැනි දිනද මෙම දුම්රිය හරස් මාර්ගයේදී තවත් එවැනිම ඛේදවාචකයක් සිදුවීමට ඔන්න මෙන්න කියා තිබියදි එම ගේට්ටුකරු විසින් වහාම ක්‍රියාත්මකවී අනතුර වළක්වනු ලැබ තිබේ.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පැමිණීම සදහා දුම්රිය ගේට්ටුව වැසී ගිය මොහොතේ දුම්රිය මාර්ගය හරහා කොළඹ දෙසට ගමන් කරමින් තිබූ හමුදා සෙබළුන් රැගත් හමුදා බසයක් දුම්රිය මාර්ගයට ළගාවත්ම ගේට්ටුව බස් රථයේ වහලය මත හිරවී ඇත. ඒ වනවිට දුම්රිය තිබී ඇත්තේ හරස් මාර්ගයට මිටර් 50 ක් පමණ දුර්නි.

වහාම ක්‍රියාත්මකවූ දුම්රිය ගේට්ටුකරු කොඩියක් ඔසවා අනතුරු අගවා බස්රිය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනීමට කටයුතු කර තිබේ. එහෙත් එම්.පී. චන්ද්‍රදාස නමැති ඒ මහතාගේ සේවය මෙතෙක් කිසිදු ඇගයීමකට ලක්වී නොමැත.

දිනකට එහා මෙහා යන දුම්රිය ගමන් වාර 110 කට පමණ ගේට්ටුව වසනු ලබන මෙම ස්ථානයේ ගුවන් පාලමක් ඉදි කොකිරීම නිසා ඉදිරියේදී තවත් මෙවැනි අනතුරු සිදුවීමට බෙහෙවින් ඉඩ තිබේ.

මෙම දුම්රිය හරස් මාර්ගය වෙත කුරුණෑගල දෙස සිට එන විට මාර්ගයේ දකුණු පසින් පිහිටා ඇති කදු ගැටය නිසා ඉදිරියෙන් එන දුම්රිය කිසිවෙකුට පෙනෙන්නේ නැත. එහෙයින් එම කදුගැටය ඉවත්කිරීමටද පියවර ගත යුතුය.

මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා මෙම ස්ථානයේ කඩිනමින් ගුවන් පාලමක් ඉදිකිරීමට පියවර ගැනීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. වගකීමකි.

එම්.ඒ.ආර් මනුකුලසූරිය
හිරියාල සමූහ

නව අදහස දක්වන්න