‘එල්ලංගා’ වාරිපද්ධති තාක්ෂණය කෘෂිකාර්මික උරුමයක් ලෙස ප්‍රකාශයට | දිනමිණ

‘එල්ලංගා’ වාරිපද්ධති තාක්ෂණය කෘෂිකාර්මික උරුමයක් ලෙස ප්‍රකාශයට

මහින්ද අලුත්ගෙදර

ශ්‍රි ලංකාවට අනන්‍යවු සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදයක් වන ‘එල්ලංගා’ වාරිපද්ධතිය කෘෂිකාර්මික උරුමයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඉතාලියේ රෝම නුවර පිහිටි ලෝක උරුම කමිටුවේ නිර්දේශ අනුව රෝමයේ පැවැති ජාත්‍යන්තර උත්සවයක දී ප්‍රකාශයට පත් කළ බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ ශ්‍රී ලංකා සහකාර නියෝජිත ආචාර්ය ඩී.බී.ටී විජේරත්න මහතා දිනමිණට පැවසීය.

අලුතින් ආරම්භ කරන ලද ලෝක උරුම සංකල්පයක් වශයෙන් කෘෂිකාර්මික උරුමයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ‘එල්ලංගා’ වාරිපද්ධතිය කෘෂිකාර්මික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන අතර අපේ රටේ කෘෂිකාර්මික උරුමයන් මෙන්ම වැව් පද්ධතිය ලොවට හඳුන්වාදීමට එමගින් හැකිවන බවද මේ වන විට ලෝකයේ රටවල් 20කට අයත් කෘෂිකාර්මික උරුමයන් ඇත්තේ 50ක් වැනි සීමිත සංඛ්‍යාවක් පමණක් බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මඟින් හඳුනාගනු ලැබුවේ ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස වන අතර ඒ අනුව එල්ලංගා ගම්මාන ක්‍රමවේදය, ලොව අලුතින් හඳුනාගත් ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුමයන් 14 ට අයත්වන බවද ශ්‍රී ලංකාව මෙන්ම පිළිගැනීමට ලක්වූ සෙසු නව කෘෂිකාර්මික උරුම ස්ථාන අයත් රටවල් ලෙස චීනය, ඊජිප්තුව, කොරියානු ජනරජය, මෙක්සිකෝව, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ජපානය ද ඇගයීමට ලක්වන බවද ඒ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ලොව වටිනා කෘෂිකාර්මික උරුමයන් ආරක්ෂා කිරීම, ජෛව විවිධත්වය සහ සංස්කෘතිය සුරැකීම මෙන්ම ප්‍රතිරෝධී පරිසර පද්ධති නිර්මාණය කිරීම වන අතර එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් මෙරට වියළි කලාපයේ හඳුනාගත් එල්ලංගා ගම්මාන පද්ධතිය වැදගත් උරුමයක් ලෙස මුල්වරට පසුගිය 2017 වසරේ දී සඳහන් කළේය.

වියැකී යන අතීත ශ්‍රි විභූතිය සහිත දේශීය වගා ක්‍රම ජනතාව අතරට නැවත ගෙනඒම අරමුණ කරගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මේ වැඩසටහන මඟින් හෙක්ටාර 18,700ක භූමි භාගයක් ආවරණ්‍ය කෙරෙන අතර ඒ තුළ පවුල් 5,400 කට අයත් පුද්ගලයෝ 17,000ක් පමණ ජීවත් වෙති.

මේ ප්‍රදේශය තුළ එල්ලංගා පද්ධති 12ක් ක්‍රියාත්මක වන අතර වැව් 78ක් පමණ ඊට අයත් වෙයි. මෙයින් වැව් 53කින් වාරි ජලය නිකුත් කරයි.

කෙසේ වුවද ආචාර්ය ඩී.බී.ටී විජේරත්න මහතා පෙන්වා දෙන්නේ මේ ව්‍යාපෘතිය තවදුරටත් දියුණු කරමින් සංචාරක කර්මාන්තය හා එක්කිරීමට අපේක්ෂා කරන බවයි. මෙරට දිස්ත්‍රික්ක 9ක විසිරී පවතින එල්ලංගා පද්ධති 21ක් හා ඒ යටතේ ඇති ග්‍රාමීය වැව් 258ක් වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඉදිරි වසර 5ක කාලය තුළ අදාළ ගොවි සංවිධානවල ද සහයෝගය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබේ.

නව අදහස දක්වන්න