තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණයි | දිනමිණ

තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණයි

තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හි දී පැවැත්වුණු අතර එහි දී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවාය.

ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයන් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තිය සම්මත කර ගැනීම ද මෙහි දී සිදු කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ දූපත් රාජ්‍යයක් ලෙස, මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා, භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවයි

භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන අතර, ලෝකයේ ආර්ථික බලවේගයක් බවට ආසියා කලාපය පත්වෙමින් තිබෙන අවධියක ශ්‍රී ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රීය පිහිටීම උපයෝගී කරගෙන ප්‍රාග්ධන උත්පාදන උදෙසා විශේෂ අවධානයක් යොමුකරමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

දරිද්‍රතාවෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාව ප්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනා දී ඉලක්කයන්ට ළගාවීම සඳහා අපගේ ජනතාවට, අපගේ සාගර කලාපයේ අවශ්‍ය ප්‍රතිලාභ ලබාදිය හැකි අතර එය ස්ථාවර සහ තිරසර අනාගතයක් ළගා කර ගැනීමට ඇති මාර්ගය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් රාජධානිය විසින් යෝජිත, පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම, වෙනුවෙන් පූර්ණ සහයෝගීතාව දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින අතර, එවන් පසුබිමක, පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්තිය, සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප්‍රයත්නයන් මගින් සුරක්ෂිත කර ගැනීමට බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තිරසර අනාගතයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ අරමුණ වන්නේ කිසිවකු අත් නොහැරෙන විශ්වසනීය බවකින් සහ ප්‍රබෝධයෙන් යුතුව සියලු දෙනාටම එකට නැ‍ඟී සිටීය හැකි සහ ප්‍රගතිය ළගා කරගත හැකි ඉලක්කයන් සපුරා ගැනීම බවයි.

ඒ පිළිබඳ අන්‍යොන්‍ය වශයෙන් වාසිසහගත වූ පරමාදර්ශයන් අවබෝධ කර ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලය වැදගත් වේදිකාවක් සපයනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න