තෙල් මිල ගැන අවසන් තීරණය ජනපති-අගමැති අතේ | දිනමිණ

තෙල් මිල ගැන අවසන් තීරණය ජනපති-අගමැති අතේ

තෙල් මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය අගමැතිතුමා සහ ජනාධිපතිතුමා එක්ව ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඔහු මෙසේ ප්‍රකාශ කළේ නව වසරට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන්ට සහ සේවක සේවිකාවන්ට සුබ පැතීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුද, නැතිනම් මහජනතාවට සේවා සපයන ආයතන ලෙස පවත්වාගෙන යායුතුද, යන්න ගැන මේ දක්වා කිසිම ආණ්ඩුවක් තීරණයක් ගෙන නැහැ. නමුත් එම තීරණය ආණ්ඩුවක් හැටියට ඉක්මනින්ම ගත යුතු වෙනවා. ඒ වගේම තෙල් මිල ඉහළ දමනවාද, නැද්ද යන්න අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක්. මුදල් අමාත්‍යාංශයත් බලාධාරීනුත් ඒ ගැන අප සමඟ සාකච්ඡා කරනවා. නමුත් තෙල් මිල වැඩි කිරීමට හෝ අඩු කිරීම ගැන තීරණය ගත යුත්තේ ආණ්ඩුවයි. මේ රටේ කැබිනට් මණ්ඩලයත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා කියා සිටියේ අභියෝග දැඩි වුවත් කෙටි කාලයක දී ජයග්‍රහණ රැසක් රටට උදාකර දුන් බවයි.

අපි ඇවිල්ලා දැන් මාස 10 - 11ත් අතර කාලයක් ගතව තිබෙනවා. මේ කාල සීමාවේ දී ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අපට හැකි වුණා. අවුරුදු ගණනාවක් කිරීමට නොහැකි වුණු ව්‍යාපෘතීන් ගණනාවක් මේ වන විට එක්කෝ සැලසුම් කර තිබෙනවා. ආරම්භ කර තිබෙනවා. නැතිනම් අවසන් කර තිබෙනවා. උදාහරණ කිහිපයක් ගතහොත්, කටුනායක නව ගුවන්යානා හැසිරවීම් පථයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳිකිරීමේ ගිවිසුම දින 45කින් ටෙන්ඩර් කැඳවා අත්සන් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි වුණා. රටට ඩොලර් මිලයන 2ක් පමණ ඉතිරි කර දී තිබෙනවා.

ඒ වගේම JIG ආයතනය 2001 වර්ෂයේ දී නිර්දේශ කළ ගුවන් යානා ඉන්ධන පෙරන පද්ධතිය ඉඳිකිරීම අපි එනතුරුම ආරම්භ කර තිබුණේ නැහැ. එය මාස හතරක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට අපිට හැකි වුණා. අපි මේ වන විට කොලොන්නාවේ ඉන්ධන ටැංකි පද්ධතියක් සැදීම ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ එහි පළමුවැන්නේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙනවා. තවත් හතක් ආරම්භ කිරීමට මූලික සැලසුම් සකස් කරමින් සිටිනවා යැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න