එජාප නව නිලධාරි මණ්ඩලය ගැන අවසන් තීරණය 26දාට | දිනමිණ

එජාප නව නිලධාරි මණ්ඩලය ගැන අවසන් තීරණය 26දාට

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලයට මෙම 26 දා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව ඊයේ (19) තීරණය කළේය. නව නිලධාරි මණ්ඩලය මැයි 06 දා පැවැත්වෙන පක්ෂයේ මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය විය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ඊයේ(19) රැස්වූ අතර ඊට ප්‍රතිසංවිධාන කමිටු සාමාජිකයන් දහහතර දෙනා එක්වූහ.

පක්ෂයේ ජනසන්නිවේදන කමිටුවට හරීන් ප්‍රනාන්දු සහ රුවන් විජේවර්ධන අමාත්‍යවරුන් පත් කිරීමට ද එහිදි තීරණය විය.

රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා-

කමිටුව පත්වූයේ ප්‍රධාන වශයෙන් තනතුරු බෙදා ගැනීම සම්බන්ධව සාකචාඡා කිරීමට නොවේ. රටේ ජනතාව ලබා දුන් තීන්දුව තුළ පොදු ජනතාවට දැනෙන ධනාත්මක ප්‍රගතිශීලී සංවර්ධනයක් තුළින් ජනතාව ගොඩගතහැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අපි ප්‍රධාන ලෙස රැස්වූවා. තනතුරු ලැබිමට ද නොලැබිමට ද හැකියි. එම තනතුරු තාවකාලිකයි. සංවර්ධනය කළහොත් සියලු දෙනා සිතාගෙන සිටින තනතුරු පවත්වාගෙන යා හැකියි.

අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා-

ප්‍රජාතන්ත්‍රවාදි ලෙස හා ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම අනුව නිලධාරීන් තෝරාගත යුතු බවට මම අදහස් ප්‍රකාශ කළා. මැයි දිනය පිළිබඳ හා පක්ෂයේ ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ ද නිලධාරීන් තෝරාගැනීම පිළිබඳත් සාකච්ඡා කළා.

අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා-

පක්ෂය තුළ නව ව්‍යුහයක් වශයෙන් පක්ෂය ජයග්‍රාහි මාවතකට ගෙන ඒම සඳහා අවශ්‍ය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට අද සාකච්චා කළා. නව ව්‍යුහයන් තුනක් තුළින් ඉදිරියට යාමට සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යවරයා ලෙස අප පක්ෂ නායකතුමා සිටිනවා. නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා සිටිනවා. පක්ෂයේ නිලධාරී මණ්ඩලය ද 30වන දින වන විට නව කණ්ඩායමක් ලබා දීමට කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියශාන්ත-

26වැනිදා කෘත්‍යාධිකාරි මණඩලයේදී පැහැදිලි වෙනසක් සිදු කිරීමට තීරණය කළා. 2020 වනවිට ජයග්‍රාහි තත්ත්වයකට ගෙන ඒමට සහ දේශපාලන මණ්ඩලයේ වැඩකටයුතු සිදු කිරීමට සාකච්ඡා කළා.

අදහස් 1ක් ඇත

I appreciate the unity.

නව අදහස දක්වන්න