රජය උපයන ආදායමෙන් 40%ක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා යෙදවෙනවා | දිනමිණ

රජය උපයන ආදායමෙන් 40%ක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා යෙදවෙනවා

උදුලා පීරිස්

අපි රජයක් විදියට උපයන ආදායමෙන් සියයට 40 ක පමණ අතිවිශාල වියදමක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් දරද්දීත් රාජ්‍ය සේවයට කරන බඳවා ගැනීම් රජය නවත්වා නැතැයි රාජ්‍ය පරිපාලන , කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අලුත් අවුරුද්දෙන් පසු ( 18දා) එම අමාත්‍යංශයේ නිලධාරීන් හමුවු අවස්ථාවේදීය.

ඇමැතිවරයා මෙසේද කීය.

අද රටේ ජනගහනයෙන් සෑම දහ දෙනෙකුගෙන් එක් අයකුම රාජ්‍ය අංශයේ වැටුප් ලබන රැකියාවක නිරත අයෙක්. එහෙමත් නැත්නම් විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයෙක්.හැබැයි රාජ්‍ය සේවයට එන බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ තමන් ලබන රැකියාවේ ප්‍රතිලාභය රටේ ජනතාවට ලබා දෙනවා වෙනුවට නිකන් ඉඳන් පඩියක් ලබා ගන්න.රාජ්‍ය සේවයේ ඉන්න සියල්ලන් වටහා ගත යුතු පරම සත්‍ය තමයි ඔබ සියලු දෙනා ලබා ගන්නා හැම සතයක්ම උපයා දෙන්නේ මේ රටේ ජනතාවගෙන් ලබා ගන්න බදු මුදලින් බව.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ රාජ්‍ය සේවයේ සෑම දෙනාම වගකීම් භාරගත යුතුයි.වගකීමට බිය වෙන කිසිවෙකුට ජීවිතය ජයගන්න පුළුවන් කමක් නෑ.සාර්ථක පුද්ගලයෙකු වීමට මේ වගකීම් භාර ගැනීමේ ගුණය වගේම කැපවීමේ ගුණයත් තමන් තුල ප්‍රගුණ කරගත යුතුයි.මගෙ දේශපාලන ජීවිතයේ කැබිනට් අමාත්‍යධුරයක් හිමිවන්න මට වසර 25 ක් බලාගෙන ඉන්න වුනා.ඒක තමයි කැපවීම කියල කියන්නෙ.තමන් ලබන වැටුපට සරිලන සේවයක් ලබා දීමේ වගකීම මේ හැමදෙනාටම තියෙනවා.නමුත් මම දකින දෙයක් තමයි අද රාජ්‍ය සේවයේ ඇතැම් අය තමන්ගේ වගකීම පසෙක දාල අයිතිවාසිකම් ගැන පමණක් සිතල කටයුතු කරනවා.ලෝකේ කොහෙවත් නෑ අපේ රටේ වගේ ඉහළ වැටුප් ලබන අය තවත් වැටුප් ඉහළ දමන්න කියල වර්ජන දියත් කරන.මේ තත්ත්වය රටට හිතකර තත්ත්වයක් නොවෙයි.අපි මුලින්ම සිතිය යුත්තේ රටේ යහ පැවැත්ම ගැනයි.දෙවනුව තමන්ගේ යහපත ගැන සිතිය යුතුයි.තමන්ගේ වැටුප උපයා දෙන ඒ ජනතාවගේ බෙල්ල පාගල තම අයිතීන් දිනන්න උත්සාහ නොකල යුතුයි කියන දේ මේ අලුත් අවුරුද්දේ හැම දෙනාම සිතට ගත යුතු යැයිද මෙහිදී ඇමැති මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නව අදහස දක්වන්න