ශ්‍රීපාද රක්ෂිතයට වින කරන නාන පීලි | දිනමිණ

ශ්‍රීපාද රක්ෂිතයට වින කරන නාන පීලි

විවිධ වෙළඳ ආයතන විසින් සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් ශ්‍රීපාද රක්ෂිතය තුළ දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවට පරිසරවේදිහූ පෙන්වා දෙති.

ශ්‍රීපාද පිවිසුම් මාර්ගයේ නල්ලතන්තිය ප්‍රධාන පාළම අසල ඉදිකර ඇති මේ නානපීලි හේතුවෙන් මේ වන විට සීතගඟුල ඔයේ වෙසෙන ආවේනික මත්ස්‍ය හා ගෙඹි විශේෂයන් දැඩි තර්ජණයට ලක්ව ඇති අතර ඉදිරියේදි ඔවුන් වඳවීයාමේ තර්ජණයට මුහුණ පා ඇත.

නාන පීලි ඉදිකිරීම යහපත් සත්කාරක කටයුත්තත් වුවත්, පරිසර හානිය සිදුවන්නේ ඒ තුළින් විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ඔයේ ජලයට එකතුවීමෙනුයි. එයට හේතුව වී ඇත්තේ ලංකාවේ ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක් ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ඉදිකර ඇති මේ පීලිවලින් නෑමට එන බැතිමතුන්ට තමන් නිෂ්පාදනය කරන ෂැම්පු බහලුම් නොමිලේ ලබාදීමට පියවර ගැනීමයි.

සීමාවකින් තොරව නොමිලේ ෂැම්පු පැකට් ලබාදීම හේතුවෙන් 50 දෙනෙකුගෙන් යුත් වන්දනා නඩයක් ෂැම්පු පැකට් 150 ක් ගන්නා අවස්ථාද ඇත. මේ නිසා ෂැම්පුවල ඇති රසායනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඔයේ ජලයට මුසු වෙයි.

මේ තත්ත්වය සීතගඟුල ඔයේ ජලය වැඩි වශයෙන් ඇති දෙසැම්බර් ජනවාරි මාසවල දී ඒතරම් බලපෑමක් සිදු නොවුවත් ජලය හිග පෙබරවාරි මාර්තු වකවානුවේදි දැඩි බලපෑමක් එල්ල වන බව පරිසරවේදින්ගේ මතයයි. ශ්‍රීපාදය වන්දනාමාන කිරීම සඳහා වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන්නේද පෙබරවාරි හා මාර්තු මාසයන් වලදීය.

විවිධ අවස්ථාවල මේ සම්බන්ධයෙන් තමන් විරෝධය ප්‍රකාශ කළද, මේ සඳහා අවසර දී ඇත්තේ දේශපාලන අධිකාරියේ ඉහළම පුද්ගලයන් බව පෙන්වා දෙන පරිසරවේ දී හූ, විශාල ඝෝෂාවක් නඟා එක් දිනක් පැමිණ කුණු මලු දෙක තුනක් එකතු කළ පමණින් පරිසරය නොරැකෙන බවත්, පරිසරය පූජනීයයි කියා හිතනවා නම් මේ පරිසරයේ වෙසෙන සියලූ සතා, සීපාවා වගේම ගහකොළ, ඇළ දොළද, රැකගැනීම යුතුකම විය යුතු බවත් අවධාරණය කර සිටිති.

මේ තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසුමක දී නල්ලතන්නිය අඩවියේ, වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා දැක්වුයේ මෙවන් අදහසකි. “මේ සම්බන්ධයෙන් අපටත් කරුණු වාර්තා වෙලා තියෙනවා. වනජීවි කලාපයෙන් බැහැර ස්ථානයක් නිසා සෘජුව මැදිහත් වෙන්න බෑ. සම්බන්ධිකරණ කමිටුවේදිත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. එහි දී සමික්ෂණ වාර්තාවක් ඇති බව සඳහන් වුණත් තවම අපිට ඒක ලැබිලා නෑ. එහෙම එකක් තියෙනවානම් ක්‍රියාමාර්ග ගන්න ලේසියි. බැලූ බැල්මටම මෙතන හානියක් වෙනවා කියන එක නම් පැහැදිලියි. ශ්‍රීපාද අඩවියේ සත්ත්ව හා ශාක ප්‍රජාවේ 70% ක පමණ ආවේණිකත්වයක් තියෙනවා. ඒ ආවේණික සතුන් තමයි තර්ජනයට ලක්වෙලා තියෙන්නේ. ශ්‍රීපාද රක්ෂිතය කියන්නේ ලෝක උරුමයක්. මෙතන ශ්‍රීපාදස්ථානය කියන ආගමික ස්ථානයට එහා ගිය විශාල වටිනාකමක් තියෙනවා. මේ ප්‍රදේශය ඉතාම සංවේදි පාරිසරික කලාපයක්. ඒක රැකගැනීම තමයි අපේ යුතුකම. නමුත් වාණිජකරණය නිසා එහි විනාශයට පාර කැපෙනවා. අපේ වනජීවි කලාපයට අයත්වෙන සීතගගුල සිට ඉදිකටුපාන දක්වා ප්‍රදේශයේ අපි වෙළඳ දැන්වීමක් වත් ප්‍රචාරය කරන්න ඉඩ දීලා නෑ. නමුත් වනජීවි කලාපයෙන් බැහැරදි ඒ සඳහා මැදිහත් වෙන්න අපිට හැකියාවක් නෑ. ඒක ඉතාම අවසනාවන්ත තත්ත්වයක්.

මස්කෙළිය සමූහ ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක


නව අදහස දක්වන්න

Or log in with...