ත්‍රීරෝද රථවලට මීටර් අද සිට අනිවාර්යයි | දිනමිණ

ත්‍රීරෝද රථවලට මීටර් අද සිට අනිවාර්යයි

ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම අද (20) සිට බලපැවැත්වේ.

ඒ අනුව අද සිට සෑම ත්‍රීරෝද රථයකම මීටර් පැවතිය යුතු අතර එම රථවල මගීන්ට ගමන අවසානයේ බිල්පතක්ද ලබාදිය යුතු වේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේ එම නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට හෝ දඩ නියම කිරිමේ බලය පොලිසිය සතුවන බවයි.

ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමේ නීතිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පැනවූ අතර ත්‍රීරෝද රථ සංගම්වල ඉල්ලීම මත ඒ සඳහා සහන කාලයක් ලබා දී තිබිණි.

එම සහන කාලය පසුගිය පළමු වැනි දිනෙන් අවසන් වූ අතර ඒ අනුව අද සිට නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේය.

කෙසේ වෙතත් මීටර් නීතිය දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක ඊයේ අවධාරණය කළේය.

මෙවැනි නීතියක් මගින් ත්‍රීරෝද රථ කර්මාන්තය කඩා වැටීමකට පත්වන අතර බලධාරීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මීටර් සමාගම් පොහොසත් කර ඉන් කොමිස් මුදලක් උපයා ගැනීම බවද දිසානායක චෝදනා කරනු ලැබේ.

කැමති පුද්ගලයින්ට මීටර් සවි කළ හැකි අතර මගීන්ට අවශ්‍ය නම් මීටර් සහිත ත්‍රීරෝද රථ පමණක් භාවිතා කිරීමේ හෝ නොකිරීමේ නිදහසක් තිබෙන බවද සභහපතිවරයා සදහන් කරනු ලැබීය.

නව අදහස දක්වන්න