වෙසක් පොහොය ගැන මතයක් | දිනමිණ

වෙසක් පොහොය ගැන මතයක්

මේ වර්ෂයේ චන්ද්‍රයාගේ ගමන අනුවත්, දෛවඥ ශාස්ත්‍රානුකූලවත්, වෙසක් පොහොය යෙදී ඇත්තේ, අප්‍රේල් මස 29 වැනි ඉරු දිනටය. දශක ගණනාවකින් පසු මෙසේ වෙසක් පොහොය යෙදෙන බව නැකැත් ශාස්ත්‍ර නියමයයි. 1883 වෙසක් පොහෝ දිනය යෙදී ඇත්තේද අප්‍රේල් 29 වැනි දිනක බව සඳහන් වේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති, වැලිගම ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද යන නාහිමිවරු සහ පැවිදි උතුමන්ද, කර්නල් ඕල්කට්, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, එෆ්. ආර්. සේනානායක, කරෝලිස් පූජිත ගුණවර්ධන යන ප්‍රභූන් පිරිසද, අප්‍රේල් මාසයේ අගට යෙදුන වෙසක් පෝයත් මැයි මාසයේ අගට යෙදුන අධි පොසොන් පෝයත් වෙසක් මාසයටම යෙදුන බැවින්, එදා වෙසක් පෝය භාවිතා කළ ආකාරය සලකා බැලීම මේ අවස්ථාවේදී අපට බෙහෙවින්ම වැදගත් වන්නේය. තවද, ෂඩ් වර්ණ ඝන බුද්ධ රශ්මිය විහිදුවන පාට පහෙන් යුත් බෞද්ධ කොඩිය පළමුවරට ලොවට ඉදිරිපත් කළ දිනයත් එකී දිනයම බව සැලකිය යුතුව තිබේ. එදා සේ මෙවරද ‍ෙවසක් පොහෝ දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 29 වැනිදාටය.

දෙවැනි කරුණ නම්, අධි පොසොන් පොහොය ඇති දිනය ගැන සලකා බැලීමයි. එය යෙදී ඇත්තේ මැයි නොහොත් වෙසක් මස 29 වැනි කුජ දිනටය. එදා හික්කඩුවේ ශ්‍රී සුමංගල මහනාහිමි ප්‍රධාන බටුවන්තුඩාවේ පඬිතුමා ඇතුළු එදා සිටි ගිහි-පැවිදි ප්‍රභූ පිරිස, මැයි මාසයේදී යෙදුන අධි පොසොන් පොහොය යොදා ගත්තේ කෙබඳු ආකාරයකටදැයි සලකා බැලීම වටී. එදා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදුන අප්‍රේල් 29 වැනි දින ප්‍රතිපත්ති පූජාවෙන් ජනතාව පෙළගැස්වීමට කටයුතු කළ අතර, මැයි මාසයටම යෙදුන අධි පොසොන් පොහෝ දින, ආමිෂ පූජා මඟින් වෙසක් පොහොය සැමරීමට ජනතාවට උපදෙස් දුන් බව දක්වා ඇත. එමෙන්ම ආසියාතික බෞද්ධ රටවල් කිහිපයක්ද එය අනුමත කළ බව එකී රටවල පැරණි වාර්තාවල සඳහන් වේ.

පෙරදිග චාරිත්‍රානුකූල, අපේ සිංහල අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් මස 14 සහ 15 යන දෙදිනයන්හිය. අවුරුදු චාරිත්‍රානුකූලව නොනගතය ද නිමාකොට, හිසතෙල් ගා, තමතමන්ගේ ආගමික කටයුතු නිමවා, අනාදිමත් කාලයක පටන් පවත්වාගෙන එන මවුපියන් සමාකරවා ගැනීම, වැඩිහිටි ඥාති මිත්‍රාදීන් බැහැ දැකීම, සිංහල ක්‍රීඩා ආදිය පැවැත්වීම් ආදී අවුරුදු උත්සවයට සම්බන්ධ කටයුතු නිමවන විට අප්‍රේල් 24 – 25 පමණ වන්නේය. එය නිමවුණුු විගසම, දින 5 – 6 ක් ඇතුළත, නැවත පූර්ණ ලෙස වෙසක් උත්සවයක් පැවැත්වීම, බෙහෙවින්ම දුෂ්කර කාර්යයක් වන්නේමය. එනිසා අප්‍රේල් 29 වැනි දාට යෙදෙන වෙසක් පොහොය. 1883 වසරේදී සිදු කළාක් මෙන් පිළිවෙත් පිරීමට වෙන්කර ගැනීම බෙහෙවින් උචිත කරුණක් වනු ඇත. මෙකී කරුණු අනුව, මෙම අප්‍රේල් 29 වැනි දාට යෙදෙන පසළොස්වක පොහොය, ශීලමය පිංකම්වලටත්, වැඩි වැඩියෙන් භාවනාමය පිංකම්වලටත්, බුද්ධ පූජා, බෝධි පූජාමය පිංකම්වලටත් ජනතාව යොමුකරවීම වැදගත් කරුණකි. විශේෂයෙන්ම ආරණ්‍ය, මෙහෙණි ආරාම, සමිති සමාගම් ශාලා, භාවනා මධ්‍යස්ථානාදී වශයෙන් ශීල සමාදාන මහ පිංකම් පැවැත්වීමටත් මෙදින වඩාත්ම යෝග්‍යය. අපිදු එය එසේම අනුමත කරමු. එසේ සලකන විට, වෙසක් පොහෝ දිනය අමතක කිරීමක් සිදු නොවන්නේමය. එය වඩාත්ම අගය කළ යුතු ප්‍රතිපත්ති පූජාවටම වෙසක් පොහෝ දිනය යොමු කිරීමක් වනු ඇත.

මැයි මස 29 වැනි දිනට යෙදෙන අධි පොසොන් පෝ දිනය, වෙසක් මාසයේම යෙදෙන බැවින්, ආමිෂ පූජාවන් සඳහා එකී දිනය යොදා ගැනීම බෙහෙවින්ම සුදුසුය. වෙසක් තොරණ, වෙසක් පෙරහැර, වෙසක් නාට්‍ය, වෙසක් භක්ති ගී, වෙසක් සැරසිලි හා දන්සැල් මෙම අනුමත වෙසක් පොහෝ දිනට යොදාගැනීම ජනතාවට මහත් සේ පහසු කාර්යක් වන්නේය.

මෙම 2561 වැනි වර්ෂයේ නොහොත් රාජ්‍ය වර්ෂ 2018 වසරේ වෙසක් පොහොය යෙදී ඇති දිනය පිළිබඳව නක්ෂත්‍ර ක්‍රමය අනුව වෙනසක් සිදු වුවද, එය බෞද්ධ රටවල් පවත්වාගෙන එන පරිදි, චාරිත්‍රානුකූලව පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීම අසීරුවන හෙයිනි. අප්‍රේල් 29 වැනි දින පොහොය වෙසක් පොහොය වශයෙන්ම සලකන අතර, මැයි මස නොහොත් වෙසක් මස 29 වැනි දින පොහොය වෙසක් පොහොය වශයෙන්ම සලකන අතර, මැයි මස නොහොත් වෙසක් මස 29 වැනි දිනට යෙදෙන පසළොස්වක් පොහොය වෙසක් උත්සව ආදියෙන් සැදුම් ලත් පොහොය වශයෙන් සැලකීම බෞද්ධ ජනතාවට මහත් පහසුවක් වන්නේය. එය වෙසඟ පොහොය සේ සලකා පූර්ණ ලෙස බොදු සිරිත් - විරිත් ඉටුකිරීමට අකැප නොවනු ඇත යන්න අපගේ විශ්වාසයයි. සියමය, මියැන්මාරය (බුරුමය), කාම්බෝජය, ලාඕසය ආදී රටවල්ද මේ පිළිබඳව අපේ පිළිගැනීම කෙසේද යන්න බලාපොරොත්තුවන බැවින් ජනතාව වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අදහස් කළ බව සඳහන් කිරීමට කැමැත්තෙමු. මේ පිළිබඳව අපේ ගරුතර මහා සංඝරත්නයේ ද, බෞද්ධ ජනතාවගේ ද අවධානය යොමුවේවා!

අග්ගමහාපණ්ඩිත කොටුගොඩ
ධම්මාවාස උත්තරීතර මහනාහිමි

නව අදහස දක්වන්න