කැපිටල් සිනමාහලේ චිත්‍රපට පිස්සා | දිනමිණ

කැපිටල් සිනමාහලේ චිත්‍රපට පිස්සා

පතීගේ කතාව 32

ආචාර්ය ධර්මසේන පතිරාජ යනු සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ පස් වැන්නාය. අබේසීල දයානන්ද පතිරාජ යනු ඔහුගේ වැඩිමහල් සොයුරන් තිදෙනාගෙන් එක් අයෙකි. කවියෙකි. ස්වකීය සොයුරා පිළිබඳ ඔහුගේ මතක සටහන් ඇසුරින් සැකැසුණු ලිපියක දෙවැනි කොටස මෙසේ පළවෙයි.

බයිස්කෝප් බලන්න ගියාම ඉගෙනීමට තියෙන උනන්දුව නැති වෙන බව ඒ කාලෙ වැඩිහිටි හැමෝම වගේ විශ්වාස කළා. අනික මල්ලිට ඔය වගේ බොරුවක් වුණත් වැඩි කල් තියාගන්න බෑ. සමහර වෙලාවට එයාගෙ කටින්ම එළිවෙනවා. මුල් කාලෙ ඒවට අම්මා ගෙන් ගුටිත් කනවා.

නොසෑහෙන්ඩ අඬලත් තියෙනවා. චිත්‍රපටියකට ඒ කාලෙ වියදම් වෙන්නෙ සත පනහයිනෙ. මල්ලි පස්සෙ කාලෙත් ඉස්කෝලෙ යද්දි සත පනහ ගානෙ ඉල්ලනවා. එතකොට මේ ඉල්ලන්නෙ යාළුවොත් එක්ක ගැලරියට ගිහින් පික්චර් බලන්න බව අම්මා දන්නවා. ඊට පස්සෙ අම්මා බැණලා බැණලා සත පනහක් දීලා දානවා.

කුඩා කලදී දරුවන් සමාජගත කිරීමෙහිලා තමාට ඉමහත් වගකීමක් පැවැරී ඇතැයි සිතන මව්පියන් විවිධ නීති රීති මඟින් දරුවන් මෙහෙයවීමට කල්පනා කිරීම සාමාන්‍ය තත්ත්වයකි. පතිරාජ දරුවන්ටත් එම සම්ප්‍රදාය ඒ අයුරින්ම බලපැවැත්විණි. දයානන්ද පතිරාජ අයියා කියන විදිහට ධර්මසේන පතිරාජ මලයා ඇතුළු පිරිසට එලෙස බලපැවැත්වුණු පවුලේ නීතියක් තිබිණි.

"අපේ තාත්තගෙයි අම්මගෙයි නීතියක් තිබුණා, ඉස්කෝලෙ ඇරිල ඇවිත් හවසට පිරිවෙනට යන්න ඕන. ඒකට කීවේ ශ්‍රී භාරතී පිරිවෙන් විද්‍යාලය. තිබුණේ ස්ටේෂන් එකට පාරෙ අනික් පැත්තෙ. අයිය (ආරියවංශ) ප්‍රාචීන යනකල් ඉගෙන ගත්තෙත් මේ පිරිවෙනේ.මම ඒ තරම් දුරට ඉගෙන ගත්තෙ නෑ. අපි පිරවෙන් යන කාලෙ මල්ලිත් අපිත් එක්ක ගියා ආවා. ඒත් අයියා ප්‍රාචීන කරලා පිරිවෙන් යන එක නැවතුනාමයි, මම ටිකක් වැඩිහිටි වෙලා වෙන වැඩවලට යොමුවීමයි එක්ක මල්ලිට තනියම පිරිවෙන් යන්න සිද්ධවුණා. ඒ සම්බන්ධයෙන් අපේ ඇසුර දුරස් වුණාම එයා තනියම පිරිවෙනට යන්න එපායෑ? ඒත් එයා පිරිවෙන් යනවා කියලා ගෙදරින් යනවා. ඒත්, පිරිවෙනට යන්නෙ නෑ. යාළුවෝ එක්ක ගඟේ නාල, 'පණුවත්තට' පැනලා කුරුම්බ බීල හොඳටම හැන්දෑවෙද්දී ගෙදර එනවා. ටික දවසක් යද්දී මේ හොරේ අහු වුණා. මුල්ම කාලෙදි අම්මා ගුටියක් දීලා තරවටු කළා. ඒත් කල්යද්දී ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා"

අද මෙන්ම ඒ කාලයේද රාජ්‍ය සේවකයින්ට රටේ විවිධ පළාත්වලට ස්ථාන මාරුවීම් ලැබෙනවිට ඔවුන්ගේ දරු පවුල්වලටද, වාසස්ථාන වෙනස් කරන්නට සිදුවිය. එය පතිරාජ පවුලටද පොදු ධර්මතාවකි.

"එක්දාස් නවසිය පනස් ගණන්වල අපේ තාත්තා ආයෙම කොළඹට මාරු කළා. අපි පදිංචි වුණේ මාළිගාවත්තේ. ධර්සේන මල්ලි මරදානෙ මධ්‍ය මහා විද්‍යාලයට දැම්මා. ඒකෙදි තමයි එයා දහය පාස් කළේ. (මෙකල සා/පෙ). ඔය කාලෙ ධර්මප්‍රිය මල්ලි (ධර්මප්‍රිය පතිරාජ) දවස පත්තරේ ප්‍රවෘත්ති කර්තෘ විදිහට වැඩ කළා. අයියා (ආරියවංශ) නුවර කොමියුනිස්ට් පක්ෂෙට එතකු වෙලා වැඩකරමින් හිටියා. අයියා පක්ෂ කාර්යාලෙට නිතර යන එන නිසා සෝවියට් නවකතා, කෙටි කතා පොත්, සඟරා, පත්තර සේරම එකතු කරගෙන එනවා. ඒ කාලෙ කොමියුනිස්ට් පක්ෂයේ පත්තරේ 'ජනශක්ති'. තහනම් කරලා තිබ්බ නිසා කොමියුනිස්ට් පක්ෂය පත්තරේ "නව ශක්ති" කියල නම වෙනස් කරලා ගැහුවා. අයියා මේව ඔක්කොම අරගෙන එනවා.

මාර්ටින් වික්‍රමසිංහගේ, ඩබ්. ඒ සිල්වා ගේ නවකතා අපේ තාත්තා ගෙදරට ගේනවා. තාත්තා එක්සත් ජාතික පක්ෂයට තදින්ම වැඩ කළාට අයියගෙ වාමාංශික වැඩවලට විරුද්ධ වුණේ නෑ. තාත්තා යූ.ඇන්.පියේ "සියරට" ගේනවා. අයියා කොමියුනිස්ට් එකේ "ජනශක්ති" නැතිනම් "නව ශක්ති" ගේනවා. මල්ලි මේ දෙකම අකුරක් නෑර කියවනවා. අයියගෙ දේශපාලනයට තාත්තා විරුද්ධ වුණේ නෑ. අපිත් ගොඩක් ළංවුණේ අය්යගෙ දේශපාලන පැත්තට.අයියා ගෙදරට සෝවියටි නවකතා කෙටි කතා ගේනවට අපි ගොඩක් කැමති වුණා; ඒවා කියවන්න. මේ විදිහට ගෙදර පොත පත සුලබ, ඒවා කියවන ඒ ගැන කතා කරන පසුබිමක් හැදිලා තිබුණා.මල්ලිට පසුකාලීනව ගොඩනැඟෙන්න මේ පසුබිම හේතුවෙන්න ඇති කියලා හිතනවා" ඔහු පෙන්වාදෙයි.

පතී මරදාන මධ්‍ය මහා විදුහලේ ඉගෙනුම ලැබූ කාලයේ පාපන්දු ක්‍රීඩාවට වඩාත් ප්‍රිය විය. පසු කාලීනව දිවයිනේ නම ගිය පාපන්දු ක්‍රීඩකයන් වූ පී ඩී සිරිසේන, ලයනල් පීරිස් වැන්නන් එවක පාසල් කණ්ඩායම තුළ සිය දක්ෂතාවන් පිළිඹිබු කරමින් සිටියහ.ලයනල් පීරිස් පසු කලෙක සෝන්ඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අයුරු අයියා සිහිපත් කරයි. මේ පිරිස් සමඟ එක්ව පාපන්දු ක්‍රීඩා කළද, පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට පතී ප්‍රිය කළේ නැත. පතීගේ තවත් සොහොයුරෙකු වූ ධර්මප්‍රිය පතිරාජ,මේ යුගයේ ජාතික විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය. එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ එවක වැලිමඩ මන්ත්‍රී කේ. එම්. පී රාජරත්නය. මේ සියලු කරුණු කාරණා නිසා සිදුවූයේ පතිරාජලාගේ නිවස බොහෝ ගරු කටයුතු පුද්ගලයින් නිතර දෙවේලේ යන එන තැනක් බවට පත්වීමය.

"මහත්තයාගේ දේශපාලන සම්බන්ධතා නිසා වගේම පවුලේ හිතවතියක් විදිහට කේ.එම්.පීගේ නෝනාත් නිතර දෙවේලෙ ආවා ගියා. ඒ ගොල්ලොත් එක්ක කේ.එච්.එම් සුමතිපාල, අචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග, ජේ.ආර්.පී සූරියප්පෙරුම, සයිරස් ඩබ්ලිව් සුරේන්ද්‍ර වගේ මහත්තුරුත් නිතර අපේ ගෙදරට ආවා ගියා. ධර්මසේන මල්ලි ඒ‍ වෙද්දී දහයෙ පංතියේ.ගෙදරට යන එන එයාල එක්ක මල්ලි ගොඩක් හිතවත් වුණා. සයිරස් ඩබ්ලිව් සුරේන්ද්‍ර මහත්තයා තමා මල්ලිත් එක්ක වැඩියෙන්ම හිතවත්. එයා සිංහල බෙංගාල සාහිත්‍යය ගැන තමයි නිතර කතා කළේ. එයා ඒ ගැන හරි උගතා නෙ? දේශීය වෛද්‍යවරයෙක් හැටියටත් හිටියනෙ? මල්ලිත් සාහිත්‍යයට ගොඩක් කැමැති නිසා දෙන්නාගෙ කතා බස් සෑහෙන්න දුරදිගට ඇදිලා යනවා"

දයානන්ද පතිරාජ කවියා කියා සිටියි.

මරදානේ බොහෝ පාසල් සිසුන් මෙන් එවක පතී සිසුවාද, පංති කාමරය තුළම රැඳී සිටි, පොතට පතට පමණක් උනන්දු වූ කෙනෙකු නොවේ. ඉඩක් ලද වහාම සිනමා ශාලාවකට ගොඩවැදීම හෙතෙම පුරුද්දක් කරගෙන තිබුණි. කාට නැතත් ඒ බැව් ඔහුගේ අයියාට ඉව වැටී තිබුණු බැව් පැහැදිලිය.

"මරදානෙ ඉස්කෝලෙ යන කාලෙ එයා සෑහෙන්න චිත්‍රපටි බැලුවා. ගොඩක්ම බැලුවේ හින්දි චිත්‍රපටි. ගෙදරට හොරෙන් ඉස්කෝලෙ යාළුවොත් එක්ක තමා යන්නේ. ආමර් ස්ට්‍රීට් එකේ කැපිටල් එකට, මරදානෙ ක්‍රවුන් එකට, සෙන්ට්‍රල් එකට තමා වැඩිපුරම යන්නේ. ඉස්කෝලෙ ඇරිල චිත්‍රපටි බලන්න ගියාම ගෙදර එන්න පරක්කු වෙනවා. ඇයි කියලා අම්මා ඇහුවම 'අතිරේක පන්ති තිබුණා' කියලා ෂේප් වෙනවා. ඒත් අපිත් එයාගෙ මරදානෙ යාළුවෝ ආශ්‍රය කරන නිසා පරක්කු වෙන්නෙ චිත්‍රපටි බලන්න ගිහින් කියල යාළුවන්ගෙන් දැක ගන්නවා. ඒ දවස්වල කැපිටල් එකේ සත්‍යජිත් රායිගෙ අපූර් සංසාර්, දෝ ආන්න්කෛ බාරා හාත් ( Do Aankhen Barah Haath- 1957) පෙන්නුවා. එයා ඒ චිත්‍රපටි දෙක හත් අට සැරයක්ම බැලුවා."

තම බාල සොයුරාගෙ ක්‍රියාකාරකම් ගැන හෙතෙම සිනාමුසුව සඳහන් කළේය.

"චිත්‍රපටි බලන්න යනවාට ගෙදරින් තහංචි වැටුණෙ නැද්ද? ප්‍රශ්නය මගෙන්.

"මෙයා දහයෙ පංතියෙනෙ. පොඩියිනෙ තහනම් කරලා තිබුණේ ඒකයි. බයිස්කෝප් බලන්න ගියාම ඉගෙනීමට තියෙන උනන්දුව නැති වෙන බව ඒ කාලෙ වැඩිහිටි හැමෝම වගේ විශ්වාස කළා.අනික මල්ලිට ඔය වගේ බොරුවක් වුණත් වැඩි කල් තියාගන්න බෑ. සමහර වෙලාවට එයාගෙ කටින්ම එළිවෙනවා. මුල් කාලෙ ඒවට අම්මා ගෙන් ගුටිත් කනවා.නොසෑහෙන්ඩ අඬලත් තියෙනවා. චිත්‍රපටියකට ඒ කාලෙ වියදම් වෙන්නෙ සත පනහයිනෙ. මල්ලි පස්සෙ කාලෙත් ඉස්කෝලෙ යද්දි සත පනහ ගානෙ ඉල්ලනවා. එතකොට මේ ඉල්ලන්නෙ යාළුවොත් එක්ක ගැලරියට ගිහින් පික්චර් බලන්න බව අම්මා දන්නවා. ඊට පස්සෙ අම්මා බැණලා බැණලා සත පනහක් දීලා දානවා"

අම්මලාගෙ හැටි එහෙමය. තහංචිත්, ගුටි බැටත් ආදරේ වැඩිකමටය.

ටික කලකට පසු මරදානෙ මධ්‍ය මහා විද්‍යාලයෙන්ම දහයේ විභාගයට (වත්මන්හි අ.පො.ස (සා/පෙ) පෙනී සිටින ධර්මසේන පතිරාජ කොලුවා එයින් සමත්වෙයි. ඉක්බිතිව ඔහුට යළිත් මහනුවරට කැඳවීමක් ලැබෙයි. ඒ ලොකු අයියාගෙනි.

"මරදානෙ ගියා ඇති. ඔයා උසස් පෙළ කරන්න ඕන ධර්මරාජෙන්. ඔයාගෙ ඉගෙනුම් වැඩවලට මේ ගෙදර හොඳට ඉඩ තියෙනවා" ඒ ආරියවංශ පතිරාජ ලොකු අයියාගේ තීරණයයි.

ඒ යෝජනාව පවුලේ වැඩි දෙනාගේ කැමැත්තෙන් ස්ථීර වූ පසු පතී, කලා විෂයන්ගෙන් උසස්පෙළ හැදෑරීම සඳහා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළුවෙයි. උසස් පෙළට සූදානම් වන කාලයේ ඔහු නැවතී සිටින්නේ ආරියවංශ පතිරාජ හෙවත් වැඩිමහල් සොයුරාගේ නිවසේය. ඔහු එකල ලංකාදීප පුවත්පතේ මහනුවර දිස්ත්‍රීක් නියෝජිතයාය. ඒ කාලයේ නිවසට නිතර දෙවේලේ පැමිණ ගිය කේ.එච්.එම් සුමතිපාල හා හරිස්චන්ද්‍ර විජේතුංග යන අයියාගේ මිතුරන්ද, ධර්මරාජයේ ගුරුවරුන් ලෙස සේවය කරමින් සිටීම ධර්මසේන පතිරාජට බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

"මට මතක විදිහට කේ.එච්.එම් සුමතිපාල තමයි සිංහලයි, ඉතිහාසය හෝ පුරාවිද්‍යාවයි කළේ. පුරා විද්‍යාවට තමා මල්ලි ඒ කාලෙ වැඩියෙන්ම කැමති. සෙනරත් පරණවිතානගෙ සොයාගැනීම් ගැන එහෙම හරිම උජාරුවෙන් කියවනවා. කවදහරි විශ්වවිද්‍යාලෙ යන්න පුළුවන් වුණොත් පුරාවිද්‍යාව කරලා අලුත් අලුත් දේවල් හොයාගන්නවා කියලා තමා මල්ලි ඒ කාලෙ කීවේ. ගුරුවරයෙක් හැටියට සුමතිපාල මහත්තයගෙ ගුණත් නිතර දෙවේලේ වර්ණනා කරනවා. මල්ලිට උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලෙට යන්න පුළුවන් වෙනවා. ඒත් එයා එහෙදි කරන්න තෝරා ගන්නේ සිංහල. ඒ ඇයි කියලනම් මං දන්නෙ නෑ. "

දයානන්ද පතිරාජ අයියා, තම බාල සොයුරා ගැන වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

සඳුදා: තාත්තගෙන් ගත් දේ හා නොගත් දේ


නව අදහස දක්වන්න

Or log in with...