අනියම් පෙම අතටම හසුවී සැමියා බිරියගේ කොණ්ඩය කපලා | දිනමිණ

අනියම් පෙම අතටම හසුවී සැමියා බිරියගේ කොණ්ඩය කපලා

මිහිර විජේසේකර

කල්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය අනියම් බිරියට පහර දී ඇයගේ දිගු වරලස කපාදැමීමේ චෝදනාම මත හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

අනියම් බිරිය හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි. විසිඅටවියේ (28) පසුවන ඇය දෙදරු මවකි. නීත්‍යානුකූල සැමියා ඇයව අතහැර ගොස් ඇත්තේ මීට වසර කීපයකට පෙරය. පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා සමඟ මීට වසර දෙකකට ‍පමණ පෙර අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

මීට දින කීපයකට පමණ පෙර සැකකාර අනියම් සැමියා ඇයගේ නිවසට පැමිණ ඇය හා බහින්බස්වී පහර දුන් බවත්, පසුව ඉකුත් 16 වෙනි දින ඔහු නැවතත් නිවසට පැමිණ බැණ වැදී පහරදී ඇයගේ දිගු වරලස කපා දැමූ බව සඳහන් කරමින් හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ. පසුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

නව අදහස දක්වන්න