GSP සහනයෙන් මත්ස්‍ය අපනයනයට සියයට 15ක බදු සහනයක් | දිනමිණ

GSP සහනයෙන් මත්ස්‍ය අපනයනයට සියයට 15ක බදු සහනයක්

බුද්ධිකා ඉඹුලාන

අමෙරිකා එක්සත් ජනපදයෙන් GSP සහනය ලැබීමෙන් පසු මෙරට මත්ස්‍ය අපනයනය සඳහා 15%ක පමණ බදු සහනයක් හිමිවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

මේ මස 22 දිනට පසුව මෙරටට GSP සහනය ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමත් සමඟ ඉන් වැඩිම ප්‍රගතියක් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට අත්වේ.

එය මෙරට මත්ස්‍ය අපනයනය සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන අවස්ථාවක් බව ද, ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.

පසුගිය වසර තුනකට වඩා වැඩි කාලයක් මෙරටට GSP සහනය නොලැබීම නිසා, සමස්ත අපනයන ආදායම්හි විශාල පසුබෑමක් දක්නට සිදු විණි.

පසුගිය වසරේ දී මෙරටින් විදේශ රටවලට මසුන් මෙට්‍රික් ටොන් 18, 262ක් අපනයනය කර ඇති අතර, එමගින් අප රටට ලැබුණු ආදායම රුපියල් මිලියන 28,685කි. ඒ අතරින් යුරෝපා හවුලට අයත් රටවලට මෙට්‍රික් ටොන් 4012ක් ද, වෙනත් යුරෝපීය රටවලට මෙට්‍ර්ක් ටොන් 24000 ක් ද, අපනයනය කර තිබේ.

අපේක්ෂිත ආදායම් නොලැබීම නිසා රටේ ජාතික ආදායම මගින් සංවර්ධනය සඳහා වෙන්කරන මුදල් පවා අඩු කිරීමට රජයට සිදුවිය. කෙසේ වෙතත්, වර්තමාන රජය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තරය තුළ රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධනයට පියවර ගත් නිසා ජාත්‍යන්තර ප්‍රජාව අප රට කෙරෙහි විශාල බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත්ව සිටී. විශේෂයෙන් මානව හිමිකම් සුරකින රටක් වශයෙන් අපේ රටේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබේ.

එම නිසා මෙතෙක් අප රටට අහිමි කර තිබූ GSP සහනය ලබා දීමට තීරණය කිරීමත් සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොව, විශේෂයෙන් මත්ස්‍ය අපනයනයේ දී ද, විශාල වාසිදායක තත්ත්වයක් අප රටට ලැබී තිබේ. අපේ රටේ මත්ස්‍ය සම්පත අපනයනයේ දී 15%ක බදු සහනයක් ලැබෙන බවත්, මත්ස්‍ය අපනයනය මගින් අප රටට විශාල ආදායමක් උපයා ගැනීම මෙන්ම, අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමට හැකි වන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සමඟ GSP සහනය ලැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ දී මේ අදහස් පළ කළේය.

නව අදහස දක්වන්න