බෙංගාල බොක්ක අවට කලාපයේ ස්ථාවර සාමකාමී පරිසරයක් තහවුරු කිරීමට සංවාදයක් | දිනමිණ

බෙංගාල බොක්ක අවට කලාපයේ ස්ථාවර සාමකාමී පරිසරයක් තහවුරු කිරීමට සංවාදයක්

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂණ වලල්ලක් ස්ථාපිත කිරීමේදී විශාල වගකීමක් ඇතිව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන අතර ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කිරීමේදී පාත්ෆයින්ඩර් පදනම ආරම්භ කර ඇති ත්‍රිකුණාමලය කතිකාවත එහිලා ඉතා වැදගත් මෙහෙවරක් කරනු ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව ගැන සොයා බැලීමේදී සියලු අංශවල නිසි සම්බන්ධීකරණයක් අවශ්‍ය රටවල් අතර හවුල්කාර බවක් සහ අලුතෙන් හිතන්නට ශක්තියක් ඇති කර ගැනීම අවශ්‍යය. අනාගත පරම්පරාව වෙනුවෙන් ඓතිහාසික ඉන්දියන් සාගර කලාපය ආරක්ෂා කර එය සංවර්ධනය කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මැනවින් අවබෝධ කරගෙන සිටින බව ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ පාත්ෆයින්ඩර් පදනම සංවිධාන කළ ත්‍රිකුණාමලය කතිකාවත සම්මන්ත්‍රණයේදීය. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් විජයවර්ධන මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එහිදී විශේෂ දේශනයක් කළේය.

ජපාන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් පවත්වන ලද විශේෂ කතිකාවත පවත්වන ලද්දේ දෙවැනි වරටය. පසුගිය වසරේදී පැවැති අවස්ථාවට වඩා පුළුල් සහභාගිත්වයක් සහ අලුත් අදහස් ගණනාවක් එහිදී ඉදිරිපත් වූ බව සඳහන්ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය, නේපාලය, මියන්මාර් හා බිම්ස්ටෙක් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෝ කතිකාවත නියෝජනය කළ අතර ඉන්දියන් සාගරයේ විශේෂයෙන් බෙංගාල බොක්ක අවට කලාපයේ ස්ථාවර සාමකාමී පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් සංවාදයක් පවත්වා ගැනීම ත්‍රිකුණාමලය කතිකාවතෙහි අරමුණ විය.

බෙංගාල බොක්ක ලෝකයේ එවැනි විශේෂ ස්ථාන අතරින් විශාලතම ස්ථානයයි. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ නියෝජනය කරන මෙම බෙංගාල බොක්ක ප්‍රදේශය උපාය මාර්ගික අතින් වැදගත් තැනකි. ඉතාම ඉහළ ආර්ථික කටයුතු සිදුවෙයි. සෑහෙන නාවික ගමනාගමනයක් සිදු‍වන අතර බටහිර බලා යාත්‍රා කරන කන්ටේනර් ප්‍රවාහන නෞකාවලින් හරි අඩක්, තොග ප්‍රවාහනය කරන නැව්වලින් තුනෙන් එකක් සහ තෙල් ප්‍රවාහනය කරන නැව්වලින් තුනෙන් දෙකක් පමණ බෙංගාල බොක්ක ඔස්සේ යාත්‍රා කරමින් තිබේ. සෑහෙන කාලයක් තිස්සේ ලෝක ආර්ථිකය ගමන් කරමින් තිබුණ දිසාව මෑත කාලය තුළ වෙනස් වී ඇත. එයට හේතුව චීනය ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීම පමණක් නොව ඉන්දියාව ලෝක ආර්ථික ලැයිස්තුවේ හයවැනි තැනට පත්වීමය. ව්‍යූහාත්මක වෙනසක් සිදුවන බව පැහැදිලිය. සිදුවන පරිවර්තනය උපායශීලීව තේරුම්ගත යුතුය. චීන, ඉන්දියානු විශාල ජනගහනය හා ඔවුන්ගේ වෙළෙඳ පොළ අවශ්‍යතා වෙනුවෙන් කෙරෙන ප්‍රවාහන ඉල්ලුම සලකන විට අනාගතයේදී මේ කලාපය කාර්ය බහුල වන අතර අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය ප්‍රවාහන ඉල්ලුම අසීමිත පරිදි ඉහළ යන්නට ඉඩ තිබේ. විසි එක්වැනි සියවසේදී බලශක්තිය වෙළෙඳාම හා ආහාර සම්බන්ධයෙන් ඉතාම කාර්ය බහුල තැනක් බවට බෙංගාල බොක්ක ප්‍රදේශය පත්වන බව නිසැකය. මේ ස්වභාවය අනුව මේ කලාපයට ඉහළින් පියාසර කිරීමේ සහ මහ මුහුදේ ප්‍රවාහනය නිදහසේ කරන්නට හැකි වාතාවරණයක් සකස් කළ යුතුය. ඉන්දියන් සාගරය හා විශේෂයෙන් බෙංගාල බොක්ක අවට කලාපය තිරසාර සාමකාමී තත්ත්වයක් ඇති කිරීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

විශාල රටවල් වශයෙන් අමෙරිකාව, ජපානය, කොරියා සමූහාණ්ඩුව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ඉන්දියන් සාගර කලාපය උපයෝගී කර ගැනීම හරහා මෑත කාලය තුළ නාවික ප්‍රවාහනය වර්ධනය වූ බව අවධානයට ගත යුතුය. ඒ අතරවාරයේදී දේශපාලන හා ආරක්ෂක අතින් නොසන්සුන් රටවල් ගණනාවක් ද ඉන්දියන් සාගර කලාපයේ තිබේ. එය සමුද්‍ර ආරක්ෂාව තීරණාත්මක බව පෙන්වන සාධකයකි. එසේම රටවල් නොවන බලගතු පාර්ශ්වවල බලපෑම ද තියුණු වී ඇත. ත්‍රස්තවාදීන්, මංකොල්ලකරුවන්, අනවසර මසුන් අල්ලන්නන්, ආගමික අන්තවාදීන්, මිනිසුන්, ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එයට එකතු වී තිබේ. එහෙයින් සමුදුර ආරක්ෂාව ඉතාම සංකීර්ණ තත්ත්වයකට පැමිණ ඇත.

ඉන්දියන් සාගර කලාපය අරාබි මුහුද මෙන් කරදරකාරී තැනක් බවට පත් නොකිරීම සඳහා ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සෑහෙන්න වගකීමක් ඇත. ඉන්දියාවේ ඇක්ට් ඊස්ට් ප්‍රතිපත්තිය, ජපානය අනුගමනය කරන ඉන්දු පැසිපික් විවෘත ප්‍රතිපත්තිය, ඉන්දු පැසිපික් මුහුදු කලාපය නැවත සමබර කිරීමේ අමෙරිකානු ප්‍රයත්නය සහ චීනයේ විසි එක්වැනි සියවසේ සමුදුර සේද මාවත ප්‍රතිපත්තිය වැනි දේ ගැන අවධානය යොමු කරන විට බෙංගාල බොක්ක අවට ප්‍රදේශය ගැන දැක්විය යුතු අවධානය ඉමහත්ය. භූගෝලීය වශයෙන් පමණක් නොව ඉලක්කගත තැනක් වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීම උපයෝගී කරගෙන අනන්‍යතාව තහවුරු කර ගැනීම අවශ්‍යය. විද්වතුන්, බුද්ධි මණ්ඩල සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එකතු වී සමුද්‍ර නාවික ප්‍රවාහනය ගැන පමණක් නොව ජාත්‍යන්තර සමුද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම ගැන ද අවධානය යොමු කළ යුතුව තිබේ. ත්‍රිකුණාමලය පිහිටීම අනුව සලකා බලා පාත්ෆයින්ඩර් පදනම සංවිධාන කරන මේ කතිකාවත වැදගත් එකක් වන්නේ ඒ අනුවය යනුවෙන් ද ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදී ප්‍රධාන දේශනය කරමින් ලෝක ආර්ථික ව්‍යූහයේ රාමුව වෙනස් වී ඇති අතර දේශසීමා රහිත තත්ත්වයක් කරා යොමු වී ඇති බව කියා සිටියේය. විශාල ජනගහනයක් හා භූමි ප්‍රමාණයක් ඇති රටවල් තර්ජනයක් සේ සලකන්නට ශ්‍රී ලංකාව කුඩා රටක් වශයෙන් හුරු වී ඇති නමුත් එය නිවැරදි නොවන අතර එය අවස්ථාවක් කරගත යුතු බව ද කියා සිටියේය. හොඳ සන්නිවේදනය හා දැනුවත් කිරීම මගින් අවස්ථා නිර්මාණය කරගත හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, එහි අධ්‍යක්ෂ සහ ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂ හිටපු නාවික හමුදාපති ආචාර්ය ජයනාත් කොළඹගේ, විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ මේ කතිකාවතේදී නිබන්ධන ඉදිරිපත් කළහ. ඒ ඇසුරෙන් සකස් කරන ත්‍රිකුණාමලය කතිකාවත දෙවැනි වාර්තාව සහභාගි වූ රටවල රාජ්‍ය නායකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත නිකුත් කරන බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනය කරයි.

-ගාමිණී සරත් ගොඩකන්ද

නව අදහස දක්වන්න